Sunday, September 22, 2024

General line - 0115112241

 දඹුලු පන්සලේ තීන්දු තීරණ ගැන ඇමති අකිල නිලධාරීන්ට කතා කරයි 




රංගිරි දඹුලු   විහාරය සම්බන්ධව ගනු ලබන තීන්දු තීරණ නීත්‍යානුකූලව සහ විනිවිදභාවයෙන් යුක්තව සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අවධාරණය කරනවා.


අමාත්‍යංශයේ නිලධාරීන් සමග අද (11) පස්වරුවේ පැවති මේ සම්බන්ධයෙන් වන රැස්වීමකදී අමාත්‍යවරයා මේබව සඳහන් කළ බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.

විශාල කැපකිරීමක් සිදුකරමින් දේශපාලනික වශයෙන්ද අපහාස උපහාස විඳ දරා ගනිමින් විනාශමුඛයට පාත්‍ර වී ඇති රංගිරි දඹුලු ලෙන් විහාරය ආරක්ෂා කිරීම සඳහා කැපවී සිටින මොහොතක ඇතැම් පාර්ශ්ව  තම පුද්ගලික අභිලාෂයන්ට ප්‍රමුඛතාව දෙමින් කඩිනමින් සිදු කළ යුතු සංරක්ෂණ කටයුතුවලට බාධා ඇති කරයි නම් එය ජාතියේ අවාසනාවක් බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබෙනවා.


එමෙන්ම මෙරට බෞද්ධ ජනතාව සතු සුවිශේෂී ලෝක උරුමයක් වන රංගිරි දඹුලු ලෙන් විහාර සංකීර්ණය සංරක්ෂණය කිරීම සඳහා උපරිම ශක්ති ප්‍රමාණයෙන් රජය කටයුතු කිරීම  බෞද්ධ උරුමය සුරකින කිසිවෙකුගේ හෝ දෝෂාදර්ශනයට ලක්විය නොහැක්කක් බවත්, මෙම කාර්යට දායකවීම සියලු දෙනාගේ වගකීමක් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී  සඳහන් කළ බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.