Saturday, April 20, 2024

General line - 0115112241

ගැහැනු රවටමින් මාස දෙක තුන පවුල් කන අන්තර්ජාල මනමාලයා! දෑවැද්දට ගෙනාපු බඩු ගෙනියන්න කන්න දීපුවට සල්ලි ඉල්ලයි

චම්ලි ඒකනායක



සන්ධ්‍යා ඩුබායි රටට යන්නේ පිරිසිදු කරන්නියක් ලෙසටය. ඒ 2011 වසරේ දිනකය. 
සැමියාගෙන් දික්කසාද වී සිටි ඇය තම 11 වියැති පුතු නතරකර යන්නේ තම නැගනිය ළඟය. 

සන්ධ්‍යාට ජයවර්ධන හමුවන්නේ ඩුබායිහි සිටියදී, නිවාඩු පාඩුවේ අන්තර්ජාලයේ සැරිසරද්දීය. ඒ මංගල යෝජනා සඳහන් වෙබ් අඩවියක ජයවර්ධන විසින් පලකර තිබූ දැන්වීමක් දැකීමෙනි. ඒ 2016 වසරේ මැද බාගයේදීය.

2017 ජුනි මස වෙනතුරු වීසා තිබියදීත් ජයවර්ධනගේ බලවත් ඇවටිලි කිරීම නිසා 2017 පෙබරවාරි 17දා ඇය මෙරටට පැමිණියාය. අනතුරුව අප්‍රේල් 27දා සන්ධ්‍යා සහ ජයවර්ධන විවාහ විය. පසුගිය 10දා පොලිසියට ආ සන්ධ්‍යා පවසන්නේ ජයවර්ධන තමා රැවටූ බවය.

“ඉස්‍සෙල්ලම මම එයාට කතා කළේ 2016 සැප්තැම්බර් මාසේ. මුලදි මුලදි වැඩිය කතාකළේ නැහැ. ඊට පස්සෙයි කතාබහ වැඩිවුණේ. මගේ විස්තර ඇහුව. පුතා ගැනත් කලින් විවාහය ගැනත් පවුලෙ තොරතුරුත් මම කිව්ව. එතකොට මගේ පුතාට අවුරුදු 17ක් විතර ඇති. එයාටත් ඒ වයසෙම දුවෙක් ඉන්නව කිව්ව. දුව කලින් නෝනගෙ අම්ම ළඟ කිව්ව. ජයවර්ධන ඉදිකිරීම් කොන්ත්‍රාත් අරගෙන කරනව කියලයි කිව්වෙ. 

ඔය අතරෙ එයාට මාව බලන්න ඕන කිව්ව. දවසක් එයා එයාගෙ නංගිගෙ පුතාගෙ ෆෝන් එකෙන් වීඩියෝ කොල් එකක් ගත්ත. එදාත් මට හරියට පැහැදිලිව එයා පෙනුනෙ නැහැ.

නිතර කතා බහ කරන්න පටන්ගත්තට පස්සෙ එයා දිගින් දිගටම කිව්වෙ ඔයා ලංකාවට එන්න. අපි කසාද බඳිමු. පුතයි ඔයයි දෙන්න මගේ ළඟට ගන්නම් කියලයි. 

එයාගෙ ඇවටිලි කිරීමටම මම වීසා තියෙද්දිම එන්න තීරණය කළා. පෙබරවාරි 17 දි මම කටුනායකට එද්දි එයත් කටුනායකට ආව. එයත් එක්ක එහෙමම පස්සර එයාගෙ ගෙදර යමු කියලයි මට කිව්වෙ. මම බැහැ කිව්ව. පුතා එතකොට කඩුවෙල තැනක වැඩ කළා. මට පුතයි අම්මයි බලන්න යන්න ඕන කියල මම කිව්ව. එයා ඒගමන මා එක්කම කඩුවෙලට ආව පුතා බලන්න. මම එයත් එක්ක ඒ වෙලාවෙම පස්සර යන්න බැහැ කියල, අම්ම බලන්න අම්ම නැවතිලා ඉන්න ගාල්ලෙ විශ්‍රාමික නිවාසයට ගියා.

පස්සෙ ජයවර්ධන දිගින් දිගටම කතා කරකර පස්සර එන්න කියනව. මම ඒ ගැන මගේ සහෝදර සහෝදරියන්ට කිව්ව. දවසක් මගේ අයිය ජයවර්ධනට කතා කරල විස්තර ඇහුව. හරියට තොරතුරක් දීල නැහැ. පස්සෙ ජයවර්ධන මට කතා කරල කිව්ව, මට අයියව අල්ලන්නෑ, එයා මාව ඉන්ටවීව් කළා කිව්ව. අයිය එක්ක එයා අමනාපෙන් හිටියෙ. මටත් ඇයි හොඳයිකම් පවත්වන්න එපා කිව්ව.

අන්තිමට කොහොම හරි ගෙදර අයත් කැමති වෙලා අප්‍රේල් මාසෙ 12 මමයි පුතාවයි එයා පස්සර එයාගෙ ගෙදර එක්කගෙන ගියා. එදා එයා මාතරට ආව. මමයි පුතයි  අප්‍රේල් 25දම එයා ගාල්ලෙ ඇවිත් මම රට ඉඳන් අරගෙන ආපු බඩු ඔක්කොමත් පස්සරට ගෙනාව.  

එහේ ඉන්නෙ එයාගෙ අම්මයි නංගියි නංගිගෙ පුතයි. අපි අප්‍රේල් 29ද කසාද බැන්ද. එයාගෙ නංගිල දෙන්න තමයි අත්සන් කළේ. ගෙදරින් පිටට කොහේවත් යන්න එපා කියලයි එයා වැඩට යන්න ගියේ. දවසක් මට පොළට යන්න වුණා. ඒ වෙලාවෙදි හමු වුණ ගමේ කෙනෙක්, මම දැකල පුරුදු නැහැ කියල මගදි මම ගැන විස්තර ඇහුව. ඒ වෙලාවෙ මම ජයවර්ධන ගැන කිව්වම ඒ කෙනා ඇහුව ඔයත් අහු වුණාද කියල.

මෙයාට ගමේ කියන්නෙ පොඩ්ඩෙ කියලලු. කලින් එක්ගෙන ආපු ගෑණු කෙනෙක් කපල නඩුවකුත් තියෙනව කිව්ව. හැමතැනම ගෑනු කිව්ව. මට ඒ කොනා කිව්වෙ දරුවත් අරගෙන ගින් ගොඩෙන් බේරිලා යන්න කියලයි. ඒක ඇහුවට පස්සෙ නින්ද යන්නෙත් නැහැ මට. ඔහොම ඉද්දි ගෘහ මූලික ලයිස්තුව හම්බ වුණා. ඒකෙ කරුණාවතී කියල කෙනෙක්ගෙ නමක් තිබුණ. මම නංගිගෙන් ඒ ගැන ඇහුව ඒ කලින් බැඳපු කෙනා කියලයි නංගි කිව්වෙ.

ඒත් මට පෙන්වපු දි ක්කසාද ලියවිල්ලෙ තියෙන්නෙ මල්ලිකා කියල කෙනෙක්ගෙ නමක්. මම ගිහින් ග්‍රාම නිලධාරීතුමිය මුණ ගැගැහිල මගේ ඡන්දය ලියල දෙන්න කිව්වම විස්තර අහල ඡන්ද ලයිස්තුව බලල කරුණාවතී කියල කෙනෙක් ඉන්නව කියන එක කිව්ව. මම එවෙලෙම ජයවර්ධනට කතා කළා. කතාකරල කිව්වම කිව්ව හරි මම එනව හෙට අනිද්ද ගෙදර එතකොට මම ඒක ලියන්නම් කිව්ව.

මට මේ ගැන සැක ඇති වුණාට මම නිහඬවයි හිටියෙ. අන්ති‍මේදි මම ජයවර්ධනගෙ අම්ම ලඟට ගිහින් වැඳල කිව්වෙ ඇත්තද මේ කියන කතා කියල. අම්ම ගත් කටටම කුණුහරුපයක් කියල ඇහුව මොකීද ඕව කියන්නෙ. යමන් අහන්න කියලයි.

ජයවර්ධන වැඩපොළවල්වලට කියල ගියාම සතියකට දෙකකට සැරයයි එන්නෙ. ඒ ආවමත් ගෑනු උදවිය කෝල් කරනව. ගෙදර ඉන්නෙ කියනව එතකොට. සමහර වෙලාවට ආපහු එන දවසත් කියනව. මම ඒ ගැන ඇහුවම මට කුණුහරුපෙන් බණිනව. ඊට පස්සෙ ෆෝන් එක ඕෆ් කරලත් තියනව. කරුණාවතී ගැන ඇහුවම, ඒකි මම ගෙනාවෙ තියාගන්න මිසක් කසාද බඳින්න නෙවෙයි කියලම කිව්ව මට.

එහේ ගියාට පස්සෙ පුතා ඉදිකිරීම් ආයතනයක ලැබ් එකක රැකියාවකට ගියා. පහුගිය 06 වෙනිද පුතාට පඩි ලැබෙනකම් රුපියල් 5000ක් වුවමනා වෙලා අතමාරුවක් කරගත්ත. ඒක දැනගෙන ජයවර්ධන මට පුතා පවා පාවා දීල බැන්න. ඒ වෙනකොටත් පුතාට මේ ප්‍රශ්න කිසිම දෙයක් දැනගන්න දීල තිබුනෙ නැහැ මම. එදා බැනපු එකට මම අඬ අඬා ඉන්න වෙලාවෙ පුතා ගෙදර ආව. ඇහුව ඇයි අම්මෙ කියල. මම කිව්ව පුතාට සල්ලි අරන් දුන්න කියල අප්පච්චි මට බැන්න කියල. ඊට පස්සෙ පුතා එයාට කතා කරල කිව්ව අප්පච්චි මගේ වුවමනාවට ගත්තෙ අම්මට බනින්න එපා කියල. ඊට පස්සෙ පුතාටත් නොසෑහෙන්න බැන්න. මාව පාවා දීලයි බන්නෙ. අද රෑ පිට නොවුණොත් තොපි බාවනව කියලත් පුතාට කිව්ව. අපි දෙන්ම බය වුණා. මොකද කලිනුත් කරුණාවතී කපල කොටල තියෙන නිසා.

අපි රෑ 119ට කතා කරල මේක කිව්වම. පොලිසියෙන් ගෙදරට ආව. හෙට උදේ පොලිසියට එන්න කියල එයාල ගියා.

පහුවෙනිද 4.30 විතර පුතයි මමයි ගෙදරින් ගියා ජයවර්ධන 4.30 බස් එකේ ඇවිත් කරදර කරයි කියල බයට. උදේ අපි පොලිසියට ගියා. විස්තර ලියල අපි ගාල්ලෙ ආව. පොලිසියෙන් කතා කරල අපිට 10 වෙනිද පොලිසියට එන්න කිව්ව. අපි ගියාම ජයවර්ධනත් ඇවිත් හිටිය. එයා කිව්ව මෙයාට ඉන්න බැරිවයි යන්න හදන්නෙ මගෙන් වරදක් වුණේ නැහැ කිව්ව. 

අන්තිමේදි මම මගේ බඩු ටික ගෙනියන්න ඉඩ දෙන්න කිව්ව. එතකොට පොලිසියෙදිම ජයවර්ධන කිව්ව මගෙයි පුතාගෙයි කෑම බීම වියදම රුපියල් 34000ක් ගිහින් තියෙනව ඒක දීල බඩු ටික ගෙනියන්න කියලයි. පොලිසියත් ඒකට හිනාවෙලා එහෙම කරන්න කිව්ව.“

සමාජ මාධ්‍ය ඇතුළුව අන්තර්ජාලය භාවිත කරන කාන්තාවන් රැවටීම සහ ඔවුනගෙන් මිල මුදල් කඩාවඩා ගැනීම විශාල පිරිසක් විසින් කරගෙන යනු ලබන ජාවාරමක් බවට මේ වනවිට පත්ව තිබෙනවා.. එහෙත් එලෙස සිදුවන බොහෝ සිදුවීම් පොලිසියේ පැමිණිළි ලෙස සටහන් වන්නේ කලාතුරකිනි. එහෙත් මෙලෙස වංචාවට හසුවන සහ රැවටීමට ලක්වන කාන්තාවන් අති විශාල පිරිසක් සමාජයේ අසරණව සිනවා. ඒ පමණක් නොව මේ අයුරින්ම කාන්තාවන් විසින් රවටනු ලැබූ පිරිමින්ද නැත්තේ නොවේ.

පස්සර ජයවර්ධනගේ මේ වංචාව එවන් එක් සිදුවීමක් පමණකි. මෙවන් රැවටීම්වලට ඔබද ඕනෑම අවස්ථාවක හසුවිය හැකි බැවින් සබඳතා ඇතිකර ගැනීමේදී, වඩාත් ප්‍රවේශම් වනලෙස අවධාරණය කරනු කැමැත්තෙමු. 

මේ ආකාරයෙන් වංචනිකයින්ට ඔබත් හසුව ඇත්නම් ඒ පිළිබඳ හෙළිදරව් කිරීම ඔබේ වගකීමයි. ඉන් මෙවන් වංචනිකයින්ට මේ ජාවාරම කරගෙන යාමට තවදුරටත් අපහසු වනු ඇත.

ඔබ දන්නා මෙවන් වංචනිකයින් වේනම් ඒ පිළිබඳව සමාජය දැනුවත් කිරීම සඳහා 0770586666 අංකයෙන් www.nethnews.lk අමතන්න.