Friday, September 20, 2024

General line - 0115112241

කරූට කළ අකටයුත්ත සිවිල් ගුවන් සේවා අධිකාරියට කියන්න – අරුන්දික




කිසියම් ගුවන් මගියෙකුට ගුවන් යානයකදී සිදුවන අපහසුතා පිළිබඳ සිවිල් ගුවන් සේවා අධිකාරියට පැමිණිලි කළ හැකි බව සංචාරක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු මහතා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ කතානායක කරු ජයසූරිය මහතාට ප‍්‍රතිකාර ගැනීම සඳහා සිංගප්පූරුව බලා යාමේදී එමිරේට්ස් ගුවන් යානයකදී ඉකුත්දා සිදුවූ බව කියන අපහසුතාව පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකදීයි.

කතානායක කරු ජයසූරිය මහතාට එමිරේට්ස් ගුවන් යානයකදී සිදුවූ අපහසුතාව සම්බන්ධයෙන් නෙත් නිවුස් ඊයේ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන්ද ප‍්‍රශ්න කළා. එහි සභාපති ආනන්ද විමලසේන මහතා පැවසුවේ මෙම සිද්ධිය තම අධිකාරියට අදාළ නොවන බවයි.

ප‍්‍රතිකාර ගැනීම සඳහා සිංගප්පූරුවට යාමට කථානායක කරු ජයසූරිය මහතා එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයක පළමු පන්තියේ ආසනයක් වෙන්කරගෙන තිබුණා. ප‍්‍රවේශ පත‍්‍රය මිලදී ගැනීමේදී තමන්ට රෝද පුටුවක් සහ අවශ්‍යතාවක් ඇතිවුවහොත් කෘතිමව ඔක්සිජන් වායුව ද අවශ්‍ය බවයි ඔහු අදාළ නියෝජිත ආයතනයට දැනුම් දී තිබුණේ.
යානයේ අසුන් ගැනීමෙන් පසු එහි සේවකයින් පැමිණ කතානායකවරයාගෙන් වෛද්‍ය වාර්තාවක් ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත් එවැනි වෛද්‍ය වාර්තාවක් යානයේදී ලබාදිය යුතු බවට ඔහුට කලින් දැනුම් දීමක් ලැබී තිබුණේ නැහැ. එසේ තිබියදීත් වෛද්‍ය වාර්තාවක් නොමැතිව කතානායක කරු ජයසූරිය මහතා යානයේ රැගෙන යාම සේවකයින් විසින් ප‍්‍රතික්ෂේප කර ඇති අතර ඒ අනුව යානයෙන් ඉවත්ව යාමට ඔහුට සිදුව තිබෙනවා.