Monday, September 23, 2024

General line - 0115112241

උතුරු මැද ගැටුමෙන් පසු හිටපු ඇමති රෝහලේ - හිටපු සභාපති පොලිසියේ




උතුරු මැද පළාත් සභාවේ ඊයේ (18) ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් පසු හිටපු අමාත්‍ය එච් බී සේමසිංහ රෝහල්ගතවී තිබෙනවා.

ඒ මන්ත‍්‍රීවරුන් පිරිසක් කළ පහර දීමකින් තමාගේ ගෙල ප‍්‍රදේශයට තුවාල සිදු වී ඇති බව පවසමින්.

ඊයේ රාත‍්‍රී 10.00 ට පමණ ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට ප‍්‍රතිකාර සඳහා ඇතුළත් වී තිබෙනවා. හිටපු අමාත්‍යවරයා මේ වනවිට ද රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

පළාත් සභාවේ වාරිමාර්ග, ඉඩම්, ග‍්‍රාම සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එච් බී සේමසිංහ ඉකුත්දා එම ධුරයෙන් ඉවත් කෙරුනා. ඊයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට හේතු වූයේ ද එච් බී සේමසිංහ මන්ත‍්‍රීවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාවයි.

එය ව්‍යවස්ථා විරෝධී බව එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් ප‍්‍රකාශ කිරීමත් සමග ඔවුන් සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් අතර ගුටි බැට හුවමාරුවක් ද සිදු වුණා. 

මේ අතර හිටපු සභාපති එම් ආර් සිරිපාල ඊයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඒ, එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකු තම නිල කාමරයට බලහත්කාරයෙන් ඇතුළු වී සෙංකෝලය පැහැර ගත් බව පවසමින්.

ඊයේ ඇති වූ ගුටි බැට හුවමාරුවේදී පළාත් සභා සෙංකෝලය දෙකඩ වුණා. එහි කොටසක් පසුව සොයා ගැණුනේ සභාපතිවරයාගේ නිල කාර්යාලයේ ඇති නාන කාමරයේ තිබියදීයි. 

මෙම ගැටුම්කාරී තත්ත්වයෙන් පසු උතුරු මැද පළාත් සභාවේ නව සභාපතිවරයා ලෙස ඩී එම් අමරතුංග පසුව පත් කර ගැණුනා.

ඒ පළාත් සභාවේ සභාපති එම් ආර් සිරිපාලට එරෙහිව එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම ගෙන ආ විශ්වාස භංග යෝජනාව සම්මත කර ගැනීමෙන් පසුවයි.