Tuesday, September 24, 2024

General line - 0115112241

කඩොලාන කපද්දී අල්ලපු වරදකරුවන් පොලිසියට අවශ්‍යම සැකකරුවන් වූ හැටි




පේදුරුතුඩුව මනල්කාඩු කුඩත්තනේ වරණි ප‍්‍රදේශයේ කලපු රක්ෂිතයේ කඩොලාන කැපීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් තවත් සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවන් බව අනාවරණ වී තිබෙනවා.

ඉකුත් 09 වැනිදා පේදුරුතුඩුව කැටේ හංදිය ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය පොලිස් මුරපොල කඩා දැමීම සම්බන්ධයෙන් ද ඔවුන්ට චෝදනා එල්ල වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

එමෙන්ම ඉකුත් 21 වැනිදා පේදුරුතුඩුව නාවික හමුදා අනු කණ්ඩයට අයත් වෙරළාරක්ෂක නිලධාරීන්ට පහරදී ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ද චෝදනා ලබා ඇත්තේ මෙම පිරිසයි.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක චමින්ද වලාකුළුගේගෙන් කළ විමසීමක දී  ඔහු කියා සිටියේ අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති බවයි.

ඒ අනුව ඔවුන් පිළිබඳ ඉදිරි ක‍්‍රියාමාර්ග පොලිසිය විසින් ගනු ලබනු ඇතැයි ද ඔහු පැවසුවා. 

කෙසේ වෙතත් ඊයේ (30) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූයේ මනල්කාඩු කලපු රක්ෂිතයේ කඩොලාන කැපීම සම්බන්ධයෙන්.

කපන ලද කඩොලාන දැව තොගයක් සහ සැකකරුවන් පැමිණි යතුරු පැදියක් හා කැබ් රථයක් ද එහිදී පොලිස් භාරයට ගැණුනා.

කරවෙඞ්ඩි සහ වරණි ප‍්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් පේදුරුතුඩුව මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (31) ඉදිරිපත් කිරීමට නියමිතයි.