Tuesday, September 24, 2024

General line - 0115112241

විද්‍යා ඝාතනය නාවික හමුදාව පිට පැටවීමේ සැළසුමක් - පරණ කලිසමක ඔතා තිබූ උපැස් යුගල සොයා ගත් හැටිත් හෙළිවෙයි

මාධව කුලසූරිය




යාපනය පුංකුඩිතිව් ප්‍රදේශයේදී දූෂණයට ලක්ව ඝාතනය කෙරුණු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය නාවික හමුදාව හා වෙනත් ආරක්ෂක අංශයක් විසින් සිදු කළ බවට චෝදනා කරමින් කටයුතු කරන්නට  සැකකරුවන් උත්සහයක් ගෙන තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (රහස් පොලිසියේ) පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යාපනය මහාධිකරණයේදී සඳහන් කර තිබෙනවා.

විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් නඩු විභාගය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ යාපනය මහාධිකරණයේදී විභාග වු අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදෙමින් නිශාන්ත සිල්වා එලෙස පවසා තිබෙනවා.

වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් ගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන්  හා ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් ඉදිරියේදී නඩුවට අදාළ සාක්ෂි විමර්ශනය පැවැත්වු අවස්ථාවේදි පොලිස් පරීක්ෂක  නිශාන්ත සිල්වා නඩු විභාගයට අදාළ සාක්ෂි ලබාදීම සිදුකරනු ලැබුවා.

දැරිය‍ගේ ඝාතනය සිදුවු ස්ථානයට කිලෝමීටර දෙකක පමණ දුරකින් නාවික හමුදා කඳවුරක් පිහිටා තිබීම හේතුවෙන් ඝාතනය නාවික හමුදාව සිදුකළ බවට චෝදනාවක් එල්ල කොට තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂා කිරීමේදී හයවන විත්තිකරු‍ගේ නිවසේ තිබි දැරියගේ උපැස් යුගල සොයාගනු ලැබුවා.

අදාළ උපැස් යුගල පරණ කලිසමක ඔතා තිබුන බවද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා වැඩි දුරටත් සාක්ෂි දෙමින් පවසා තිබුණා.

එළෙසම සැකකරුවන් වවුනියාව බන්ධනාගාර‍යේ බන්ධනාගාරගතව සිටින අවස්ථාවේදී ඉෆ්තාප් නමැත්තෙකු දුරකථන මාර්ගයෙන් අමතා සිද්ධියට සම්බන්ධ 09වැනි විත්තිකරු හා 04 වැනි විත්තිකරු රජයේ සාක්ෂිකරුවන් කරන ලෙසට ඉල්ලීම් කළ බවත්, ඒ සඳහා රුපියල් කෝටි දෙකක මුදලක් ලබාදෙන බවට අල්ලස් ලබාදීමට උත්සහ කළ බවද පොලිස් පරීක්ෂකවරයා අධිකරණය හමුවේ සඳහන් කළා.

විත්තිකරුවන් වන පූබාලසිංගම් ඉන්ද්‍රකුමාර්, පූබාලසිංගම් ජෙයක්කුමාර්, පූබාලසිංගම් තවක්කුමාර්, මහාලිංගම් ශෂිතරන්, තිල්ලේනාදන් චන්ද්‍රිහසන්, සිවදේවන් දුෂාන්ත් (පෙරියම්බි), පලනි රූපසිංහම් කුගදාසන්, ජෙයතරන් කෝකිලන්, මහාලිංගම් ශෂිදරන් (ස්විස් කුමාර්) යන සැකකරුවන් 09 දෙනා ද මෙහිදී අධිකරණය හමුවට ඉදිරිපත් කොට සිටියා.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කුමාර් රත්නම්, රජයේ නීතීඥවරුන් වන නිශාන්ත් නාගරත්නම්, ලක්සි ද සිල්වා සහ මාලිනී විග්නේෂ්වරන් පෙනී සිටියා.

සිද්ධියට සම්බන්ධ  01, 02, 03, 05 සහ 06 වැනි විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සුරංග බාලසිංහ සහ නීතීඥ මහින්ද ජයවර්ධන ද 05 වැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ ආරුමුගම් රගුපති පිල්ලේ ද, 04, 07, 08 සහ 09 වැනි විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ සින්නරාසා කේදීස්වරන් පෙනී සිටියා.

විත්තිකරුවන් නව දෙනා වෙනුවෙන්ම රජයේ නීතීඥ විග්නරාජා ජයන්තා මහතා ද පෙනී සිටියහ.

යාපනය කයිට්ස් පුංකුඩිතිව් 09 වන පටුමග ප්‍රදේශයේදි 2015 මැයි මස 13 වැනි දින පාසල් ඇඳුම්න් සැරසි පාසල් යමින් සිටි 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් ඝාතනය කර තිබුණා.