Tuesday, September 24, 2024

General line - 0115112241

රවීගේ විශ්වාස භංගය ගැන ජවිපෙ වෙනම තැනක - චෝදනා ගෙනා අයටත් චෝදනා 




රවී කරුණානායක අමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවගෙන ආ ඇතැම් පුද්ගලයන්ට එරෙහිව ද දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති බී.බී.සී.සංදේශයට සඳහන් කර ඇත්තේ  ඒ සම්බන්ධයෙන් සිය පක්ෂය පාර්ලිමේන්තුවේ දී තීන්දුවක් ගනු ඇති බවයි.


"පාර්ලිමේන්තුවේ දී අපට තීරණය කරන්න පුළුවන් විශ්වාස භංගය සම්බන්ධයෙන් ගන්න තීරණය මොකක්ද කියලා. පාර්ලිමේන්තුව තුළ ඒ සඳහා නිශ්චිත ක්‍රියාමාර්ග ගොඩක් නැහැ"යනුවෙන් ඔහු සඳහන් කර තිබෙනවා.

රවී කරුණානායක කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරද්දී රජයේ නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුම්කර ගනුදෙනුවට අදාළ නිසි ක්‍රියාමාර්ග ගත හැකි වනු ඇතැයි යන්න පිළිබඳ ප්‍රශ්නයක් පැන නගින බව ද සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නා.


"නීතිපති දෙපාර්තමේන්තුව රජයේ ආයතනයක්. රජයේ ඇමතිවරයෙක්ම චෝදනාවට ලක්වෙලා ඔහු කැබිනට් ඇමති ධුරයේ තියා ගෙන නීතිපති දෙපාර්තමේන්තුවට සාධාරණ ආකාරයට නීති ක්‍රියාමාර්ග ගත හැකි වනු ඇත්දැයි යන ප්‍රශ්නය තිබෙනවා" යනුවෙන් ඔහු සඳහන් කර තිබෙනවා.