Tuesday, September 24, 2024

General line - 0115112241

"මම මිතුරෙක් විදිහට කියන්නේ. අවසන්  තීරණයක් ගන්න" - රවී ඉල්ලා අස්වූ  මෙහෙයුම මෙන්න 




විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමෙන් පසු කළ ප්‍රකාශ වලට අනුව සමාජය තුල මහත් ආන්දෝලනයක් ඇති වුණා.

මතු වූ තත්ත්වය මත අමාත්‍යාංශය තුල රාජකාරී කටයුතු සිදු කළ හැකි දැයි රවී කරුණානායක අමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් විමසීමක් කර ඇති බවයි nethnews.lk වෙත වාර්තා වුණේ.

ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ "කිසිදු ප්‍රශ්නයක් නැහැ අමාත්‍යාංශයේ වැඩකටයුතු කරන්න. ලබන බදාදා මෙම සිද්ධිය පිළිබදව කථා කරමු. "යනුවෙනුයි.

ඉන් පසු අග්‍රාමාත්‍යවරයා සමග ද රවී කරුණානායක අමාත්‍යවරයා සාකචිඡාවක් පවත්වා තිබෙනවා.. 

එම සාකච්ඡාවෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර ඒ වන විට සෞඛ්‍ය අමාත්‍යවරයා අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරිම සදහා ගොස් සිටි බවයි වාර්තා වන්නේ.

"ඔබතුමා රවී සමග සාකච්ඡා කරන්න." යයි අමාත්‍යවරයා සඳහන් කළ විට  අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ රවී කරුණානායක  ඔබගේ හොදම මිතුරෙකු බැවින් ඔබම  සාකච්ඡා කළ යුතු බවයි.

ඉන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කර ඇත්තේ "මම විතරක් සාකච්ඡා කරලා වැඩක් නැහැ. අනෙක් අය හිතයි මට විතරයි උවමනාවක් තිබෙන්නේ කියා. මට රවී කරුණානායක  ප්‍රකාශ කළා ජනාධිපතිවරයා බදාදා දින මේ පිළීබදව සාකච්ඡා කරන බව." යනුවෙනුයි.

ඉන් පසු අග්‍රාමාත්‍යවරයා සහ රවී කරුණානායක අමාත්‍යවරයා සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එම සාකච්ඡාවට තිනියාවල පාලිත හිමියන් ද සහභාගි වී සිටියා. 

තිනියාවල පාලිත හිමියන් එම අවස්ථාවේ දී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න  දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් පැවැසුවේ "රවී කරුණානායකගේ ප්‍රශ්ණය විසඳන්න පුලුවන් රාජිත ඇමැතිතුමාට විතරයි. ඔබ තුමාට මොළයක්, හදවතක් සහ පිටකොන්දක් තිබෙනවා. එම නිසා මෙම ප්‍රශ්ණය රවී කරුණානායක ඇමතිවරයාට තේරෙන විදිහට පහදා දෙන්න" යනුවෙනුයි.

ඉන් පසු පසුගිය සඳුදා රාත්‍රියේ රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ නිවසේ දී රාජිත සේනාරත්න ,රවී කරුණානායක සහ තිනියාවල පාලිත හිමියන් සාකච්ඡා කිරීමට සුදානම් වුවද එය මගහැරී ගියේ ඇමරිකා එක්සත් ජනපදයේ සිට පැමිණි විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ නිවසට පැමිණ සිටීම නිසායි.

එම නිසා අදාල රැස්වීම පැවැත්වුණේ පසු දිනයි. අඟහරුවාදා උදෑසන එම සාකච්ඡාව රවී කරුණානායක අමාත්‍යවරයාගේ නිවසේ දී පැවැත්වූ අතර සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න එහිදී රවී කරුණානායක අමාත්‍යවරයාට “මෙම අවස්ථාවේ දී පක්ෂය ගැන හිතන්න. ඔබගේ කීර්තිනාමය ගැන හිතන්න. එක පියවරක් පිටු පස්සට ගන්නා විට තවත් පියවර දෙකක් ඉදිරියට යන්න පුලුවන්. මෙතන ප්‍රශ්ණයක් තිබෙනවා. සමාජය තුල ඔබතුමා පිළිබදව වෙනත් මතයක් නිර්මාණය වෙලා. මාධ්‍ය මගින් විවේචනය කරනවා. ඒ ගැන සොයා බලන්න.” යැයි සඳහන් කර සිටියා.

මෙම අවස්ථාවේ දී රවී කරුණානායක අමාත්‍යවරයා පෞද්ගලික බැංකුවක ණය රිසිට් පත් පවා ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ "මම හොරකම් කර නිවාස ලබාගන්නටවත්, වෙළෙද ව්‍යාපාර සිදු කරන්නටවත් කැමැති නැති පුද්ගලයෙක්. මම මේවා කොමිසන් සභාවටත් ඉදිරිපත් කළා. කොමසාරිස් වරුන් පිළිගත්තත් රජයේ නීතිඥවරයා එය පිළිනොගෙන තර්ක කළා. එවිට කොමසාරිස් වරුන් ඔහුට අවවාද කළා. මම මොනව කිවුවත් වැඩක් වුනේ නැහැ. "යනුවෙනුයි.

ඉන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා  "මම මිතුරෙක් විදිහට කියන්නේ. අවසන්  තීරණයක් ගන්න." යැයි ප්‍රකාශ කරමින් එතනින් ඉවත්ව ගියා.

එවිට රවී කරුණානායක මහතා නිශ්ශබ්දව සිටීම විශේෂ කරුණක් වූ අතර ඉන් පසු එදින පස්වරුවේ රවී කරුණානායක අමාත්‍යවරයා  යළි සෞඛ්‍ය අමාත්‍යවරයාට දුරකථන ඇමැතුමක් ලබා දී “රාජිත මම ඉවත් වෙන්නම් ඔයා කියන නිසා. ඔයා හොදට දේශපාලන හැසිරීම දන්නවා.” යැයි සඳහන් කර සිටියා.

බ්‍රහස්පතින්දා පෙරවරුවේ කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භ වූ පසු සෞඛ්‍ය අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයාට සහ ජනාධිපතිවරයාට සඳහන් කර සිටියේ “රවී අස්වෙන්න සුදානම්. මම කථා කරලා තියෙන්නේ. ඔබතුමාලා දෙදෙනා කථා කරන්න එපා .කැබිනට් රැස්වීමෙන් පසු රවී සමග සාකච්ඡාවක් කරමු”. යනුවෙනුයි.

එවිට අග්‍රාමාත්‍යවරයා පැවැසුවේ "රාජිත ඔයත් එම සාකච්ඡාවට එන්න" කියායි.