Wednesday, September 25, 2024

General line - 0115112241

නිජබිම් අහිමි වීම නිසා ගම් වදියි (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිඅරච්චිචි - හම්බන්තොට




හම්බන්තොට දිස්ත්‍රික්කයේ වනඅලින්ගේ  වාසස්ථානයන් සීග්‍රයෙන් එළිපෙහෙලි වීම නිසා වාසස්ථාන අහිමිවන වනඅලින් තම පැරණි මාර්ග බාවිතා කරමින් ගම් වදින බව වනජීවී නිලධාරීන් පවසනවා.

ආසන්නම සිදුවීම වන පසුගිය 23දින වීරකැටිය ඉත්තදෙමලිය ප්‍රදේශයට වනඅලින් දෙදෙනෙකු පැමිණ තිබෙනවා.

සූරියවැව ප්‍රදේශයේ සිට දින කිහිපයක සිට හත්පෝරුව, තුනකම හරහා වීරකැටිය තෙක් ගමන් කොට තිබෙන බවයි වනජීවී නිලධාරින් පෙන්වාදෙන්නේ. 

කෙසේ නමුත් 25 වනදා වනවිට මෙම වනඅලින් දෙදෙනා වලස්මුල්ල කන්දේ බැද්ද ප්‍රදේශය තෙක් සංක්‍රමණය වී ඇති අතර මේ හේතුවෙන් වන අලින් දෙදෙනාගේ මෙන්ම මිනිසුන්ගේ ජීවිතද තර්ජනයට ලක්ව ඇතැයි වනජීවී නිලධාරින් පවසනවා.

කෙසේ නමුත් මෙම වනඅලින් දෙදෙනා අල්ලා ගැනීමට හෝ වෙනයම් නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් කටයුතු නොකිරීම තුළ එම ප්‍රදේශයන් තුළ මෙතෙක් නොතිබූ අලි මිනිස් ගැටුමක් ඇතිවිය හැකි බවයි ප්‍රදේශයේ ජනතාව පවසන්නේ.

මීට පෙර 2016.08.16 දින මේ ආකාරයෙන් වනඅලින් දෙදෙනකු අම්බලන්තොට නගරය ආසන්නයට පැමිණි අතර එම වනඅලින් දෙදෙනා එලවා දැමීමටද වනජීවී නිලධාරීන්හට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබෙනවා.

කෙසේනමුත් වන අලින් තම මුතුන් මිත්තන් ගමන් ගත් මාර්ගයේ මේ අයුරින් ජානමය සාධක මත ගමන් ගැනීමට හැකි බව පරිසර වේදීන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව 2014.02.28 දින මෙම පැරණි අලිමංකඩ ඔස්සේ  මේ අයුරින්  අම්බලන්තොට හරහා උස්සන්ගොඩ ජාතික වනෝද්‍යානයට පැමිණි වන අලියෙකු කලමැටිය හරහා බෙලිඅත්ත කහවත්ත ප්‍රදේශයට ගමන් ගත් අතර දින තුනක මෙහෙයුමකින් පසුව වන ජීවී නිලධාරින් විසින් 2014.03.03 දින අඩි හතක් පමණ උස එම වන අලියා බෙලිඅත්ත කහවත් ප්‍රදේශයේදී  අල්ලා ගනු ලැබ තිබෙනවා.

මීට වසර 50 කට පෙර  වනඅලි රංචු වශයෙන්  එම වනඅලියා ගමන් ගත් මාර්ගයේ  කඹුරුපිටිය දක්වා ගමන් කර අැති බව ඉතිහාස ගත කරුණු වලින් තහවුරු වී තිබෙනවා. 

තම මුතුන්මිත්තන් ගමන් ගත් මාර්ගයේ මෙම  වනඅලින් ද ගමන් ගන්නට අැතැයි බොහෝ දෙනාගේ අදහසයි. නමුත් සංවර්ධනයේ  ප්‍රතිඵලයක් ලෙස වන අලින්ගේ වාසස්ථාන අහිමි වී ඔවුන් ගමන් ගත් මාර්ගද අවහිර වී ඇත.

මේ ආකාරයෙන් අද වනවිට විවිධ සංවර්ධන කටයුතු හා නිවාස ව්‍යාපෘති සඳහා වන අලින්ගේ පැරණි අලි මංකඩවල් ඇහිරීමට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් වනඅලින් මේ අයුරින් වෙනත් මාර්ග බාවිතා කරමින් ආහාර සොයා සංක්‍රමණය වනබවයි පරිසරවේදීන් පෙන්වාදෙන්නේ.

හම්බන්තොට හැඩිල්ල ප්‍රදේශයේ තිබූ වන අලින්ගේ ප්‍රධාන අලිමංකඩක් හෙළිකර, නිලධාරීන් හා දේශපාලකයන් විසින් මේ වන විට නිවාස ව්‍යාපෘතියක් ඉදිකරමින් යන්නේ විශාල කැළෑ ප්‍රදේශයක් කිසිදු පරිසර ඇගයීමකට ලක් නොකොට හෙළිපෙහෙළි කරමින්.

පරිසරය සහ වනසතුන් විනාශ කරමින් මිනිසුන්ගේ ජිවිත තර්ජනයට ලක් කිරීම මහජන ඡන්දයෙන් පත්වී සිටින සියළු දේශපාලකයන් දැන ගත යුතු කරුණක් බවයි පරිසරවේදීන් මෙන්ම ප්‍රදේශයේ ජනතාවද කියාසිටින්නේ.