Wednesday, September 25, 2024

General line - 0115112241

ආගමන විගමන පාලක ජනරාල් රිමාන්ඩ්

උදය කුමාර




ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලූක්පිටිය මහතා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක් මතයි. ඉකුත් පාලන සමයේ ඊ විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට තීරණය කර තිබුණා.

ඊට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා යටතේ ආගමන විගමන පාලක ජනරාල්වරයා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ සුමන්දිරන්, පාටලී චම්පික රණවක සහ රවුෆ් හකීම් යන මහත්වරු විසින් ඉදිරිපත් කළ චෝදනා පත්‍ර වග උත්තරකාර ආගමන හා විගමන පාලකවරයාට කියවා දීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.

ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම විභාගය පැවැත්වුණා.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී වග උත්තරකාර ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක් පිටිය මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා. 

එම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයා විසින් වග උත්තරකරුට  අදාළ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා විවෘත අධිකරණය කියවා දුන්නා. 

වගඋත්තරකාර ආගමන හා විගමන පාලකවරයා සඳහන් කළේ තමන් එම චෝදනාවලට නිවැරදිකරු බවයි. 
මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු  ප්‍රීති පද්මන් සූරසේන මහතා විවෘත අධිකරණය ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරුත්වය සහ අධිකාරි බලයේ ගෞරවය ආරක්ෂා කිරීම අධිකරණයේ වගකීම බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය යනු මෙරට තිබෙන ඉහළම අධිකරණය බවත් එම අධිකරණය විසින් නිකුත් කරන නියෝග හෑල්ලුකොට සුළුවෙන් දැකීමට කිසිවකුට හැකියාවක් නොමැති බවත් මෙහිදී සාමාජික විනිසුරු අචල වෙංගප්පුලි මහතා අවධාරණය කළේය.  

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල 2024 අංක 08 දරණ අධිකරණ ආයතන වලට අපහාස කිරීම පිළිබඳ පනතේ විධිවිධානයන් ප්‍රකාරව මෙම වග උත්තරකරු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් නියෝග කළා. 

ඉන් අනතුරුව පැමිණිල්ල යළි ජනවාරි මස 22 වන දා කැඳවීමටද දින නියම වුණා.