Thursday, September 26, 2024

General line - 0115112241

නායකත්වයට අපහාස කළ ශ්‍රීලනිප මන්ත්‍රීට අද අච්චු කරයි!




පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්තට එරෙහිව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සිදු කළ විනය පරීක්ෂණයේ තින්දුව අද (28) ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මන්ත‍්‍රීවරයාට එරෙහිව මෙම විනය පරීක්ෂණය සිදු කරනු ලැබුවේ නීතිඥ චම්පානි පද්මසේකරගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින්. පක්ෂ ක‍්‍රියාකාරකම් හා පක්ෂ නායකත්වය විවේචනය කිරීම සනත් නිශාන්ත මන්ත‍්‍රීවරයාට එරෙහි චෝදනාව වන බවයි පැවසෙන්නේ. මෙම චෝදනාවෙන් පසු ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මීට පෙර පියවර ගත්තා. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරු පිරිසක් ඒකාබද්ධ විපක්ෂය ලෙස කටයුතු කිරීමට තීරණය කිරීමෙන් පසු එහි මන්ත‍්‍රීවරයෙකුට එරෙහිව සිදු කළ පළමු විනය පරීක්ෂණය මෙය බවටයි පැවසෙන්නේ. 

මේ අතර මෙම සතියේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත‍්‍රීවරුන් 06 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා. ඔවුන්ට එරෙහි චෝදනාව ද වන්නේ පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමයි. පවිත‍්‍රා වන්නිආරච්චි, ප‍්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, දිලූම් අමුණුගම, ලොහාන් රත්වත්තේ හා ප‍්‍රසන්න රණවීර යන මන්ත‍්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරනු ඇති බවටයි වාර්තා වන්නේ. 

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව එලෙස පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන්නන්ගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය ද අහෝසි වී යනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග ස`දහන් කළා. 

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර තිස්සමහාරාමයේ පැවති උත්සවයක දී කියා සිටියේ වෙනත් පක්ෂ ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කරන මන්ත‍්‍රීවරුන්ට එරෙහිව ද ඉදිරියේ දී දැඩි තීන්දුවක් ගන්නා බවයි.