Friday, September 20, 2024

General line - 0115112241

ඉන්දියාව ගැන ඒකාබද්ධ විපක්ෂයට තවත් සැකයක්




ඉන්දියානු ධීවරයින්ට මෙරට මුහුදේ මසුන් ඇල්ලීම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීමක් සිදුවුවහොත් එය සොරකමට නීත්‍යානුකූල අයිතියක් ලබාදීම හා සමාන තත්ත්වයක් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (19) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ රජය එවැනි ක‍්‍රියාමාර්ගයක් ගැනීමට උත්සාහ දරමින් සිටින බවයි. හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා එහිදී දැක්වූ අදහස් පහතින් දැක්වේ.

“අපේ මත්ස්‍ය සම්පත් පවා අපිට ආරක්ෂා කරගන්න බැහැ. ඉන්දියාවේ ට්‍රෝලර් ඇවිත් ඩොලර් මිලියන ගණන් වටින අපේ මත්ස්‍ය සම්පත් අපේ දේශීය ජල තීරයෙන් ගෙනියනවා. ඒක නවත්වන්න අපට පුළුවන් කමක් නැහැ. දැන් රජයේ සැලකීමට භාජනව වී තිබෙනවා මේ නීති විරෝධී දේ නීත්‍යානුකූල කිරීමේ වැඩපිළිවෙලක්. ඒ කියන්නේ කවුරුහරි මගේ ගෙදරට ඇවිල්ල හොරකම් කරනවා. දැන් ඒ හොරකම් කරන දේවල් වලට අපි ඔප්පු තිරප්පු මාර්ගයෙන් ඒ හොරකම් කරන පුද්ගලයාට නීත්‍යානුකූල අයිතිය පවරා දෙනවා. විධිමත් ලෙස. ඒ විදිහේ තත්ත්වයක් තිබෙන්නේ”.

එවැනි සූදානමක් පවතින්නේද යන්න පිළිබඳ නෙත් නිවුස් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් විමසා සිටියා. ඒ පිළිබඳව අමාත්‍යවරයා දැක්වූ අදහස් පහතින් දැක්වේ.

“ඉන්දියානු ධීවරයින්ට ශ්‍රී ලංකාවේ ධීවර කටයුතු මෙහෙයවන්න අවසර ලබා දෙන බවට ප්‍රවෘත්ති පළ වෙනවා. මම ඉතාමත් වගකීමෙන් කියනවා ඒ පිළිබඳව කිසිඳු සාකච්ඡාවක් හෝ තීන්දුවක් අරගෙන නැහැ. විවිධ යෝජනා ඉදිරිපත්වෙලා තිබෙනවා. නමුත් කිසිඳු එකඟතාවයක් අරගෙන නැහැ. ලංකාවේ ධීවරයන් සමග සාකච්ඡා කිරීමකින් තොරව තීන්දුවක් ගන්න බලාපොරොත්තුවකුත් නැහැ”.