පාරිසරික බලපෑම් ඇගයීම කෙරෙහි අවධානය යොමු නොකොට රුවන්පුර අධිවේගී මාර්ගය සඳහා ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු මේ වනවිට අරඹා ඇතිබව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා. මාර්ග සංවර්ධන අධිකාරිය මේ සඳහා අමෙරිකානු ඩොලර් බිලියන1.8ක (රුපියල් කෝටි 27,522) මුදලක් වැය කරනවා.
පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාවක් ලබා ගැනීම සඳහා මේ වනවිට රුපියල් මිලියන 314ක අත්තිකාරම් මුදලක් ස්කයිල්ස් ඉන්ටර්නැෂනල් සමාගමට ලබා දී ඇත. අදාල සමාගම එම කටයුත්ත සඳහා උප කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ මග නැගුමට සම්බන්ධ උපදේශන සමාගමක් වෙතය. ඒ 2014 වසරේ අග භාගයේදීය. එම ඇගයීම් කටයුතු සඳහා ලබා දී ඇති කාලය සති 32ක් වුවද වසර දෙකක් පමණ ගතව ඇතත් මේ වනතෙක් එයද අවසන්ව නැහැ.
පාරිසරික ඇගයිම් වාර්තාව නැතත් මේ වනවිට කහතුඩුව සිට ඉංගිරිය දක්වා කිලෝමීටර් 26.3 ක දුර සඳහා ඉඩම් අත්පත් කරගැනීම සියයට 18 ක් නිමවා ඇති අතර මූලික සැලසුම් නිර්මාණයන්ගෙන් සියයට 40 ක් ද සිදුකර තිබෙනවා.
පරිසර අධිකාරියේ නිලධාරියකු සන්ඩේ ටයිම්ස් වෙත පවසා තිබුණේ, රුවන්පුර අධිවේගී මාර්ගය පරිසරයට සංවේදී ප්‍රදේශ හරහා ගමන් කරන බවය. කහතුඩුව සිට හොරණ හරහා පැල්මඩුල්ල දක්වා කිලෝමීටර 73.9 ක් දිවෙන යෝජිත මාර්ගය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකටම ආපදා ඇතිවීමට ඉඩ ඇති බවය. මෙම පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාවන් මේ ඉදිකරීම නොකළ යුතු බව පැවසුවහොත් මෙලෙස හිතුමතේ කරනු ලබන ඉදිකිරීම්වලට කුමක් කරන්නේදැයි ඔහු විමසනවා.
ජාතික භෞතික සැළසුම් දෙපාර්තමේන්තුව ලබන මසදී ජනාධිපතිවරයාද හමුවීමට නියමිතය. එහිදී රුවන්පුර සහ මධ්‍යම අධිවේගී මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
රුවන්පුර අධිවේගී මාර්ගය, නිසි පාරිසරික බලපෑම් ඇගයීමකින් තොරව ආරම්භ කිරීමට යාමෙන් අනාගතයේ බරපතල පාරිසරික හානියක් සහ විපත් ඇතිවීමේ අවධානමක් පවතින බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර පවසන්නේ කළු ගඟේ ජල පෝෂක කලාපයක්ද වන සංවේදී පරිසර කලාපයක් තුළින් මෙම මාර්ගය ගමන් ගන්නා බවය. ගංවතුර සහ නායයාම් තත්වයන් වැඩි වීමට මෙහි බලපෑම්ක් සිදුවිය හැකි බව ඔහු පෙන්වා දෙනවා.