මුස්ලිම් භක්තිකයෙකු නොවන පුරුෂයෙකු හා විවාහ වීම තහනම් කරමින් කාන්තාවන්ට පනවා තිබූ නීතියක් ටියුනීසියාවේ ආණ්ඩුව විසින් ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙනවා.
මෙතෙක් පැවති නීතියට අනුව ටියුනීසියානු ජාතික කාන්තාවක හා විවාහ වීමට බලාපොරොත්තු වන අන්‍යාගමික පුරුෂයෙකු ඉස්ලාම් දහම වැළඳගත යුතුව තිබුණා.
අන්‍යාගමික පුරුෂයෙකු හා විවාහ වීම තහනම් කරමින් 1973 දී ක්‍රියාත්මක කරන ලද නීතිය ඉවත් කරමින් ටියුනීසියානු ජනපති බේජි එසේබ්සි මෙම තීරණය ගෙන තිබෙනවා.
ජාතික කාන්තා දිනය සමරමින් පසුගිය මාසයේ පැවති උත්සවයක් ඇමතූ ජනාධිපතිවරයා විසින් පැරණි විවාහ නීතිය හඳුන්වනු ලැබුවේ "සහකරුවෙකු තෝරා ගැනීමට ඇති නිදහසට ඇති බාධාවක්" ලෙසයි.
මෙම නව නීතිය බලාත්මක කිරීමත් සමග යුවලකට ආණ්ඩුවේ කාර්යාලයක් තුළ සිය විවාහය ලියාපදිංචි කිරීමේ අවස්ථාවද හිමි වනවා.