Sunday, May 5, 2024

General line - 0115112241

විදුලිබලේ සටනෙන් විදුලි ජනනයත් නවතන්න යයි




විදුලි ජනනය, සම්පේ‍්‍රක්‍ෂණය හා බෙදාහැරීම අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවා. ඒ, ලංකා විදුලිබල මණ්ඩල තාක්‍ෂණික ඉංජිනේරු සහ අධිකාරී සංගමයේද මේ වනවිට කි‍්‍රයාත්මක වැඩවර්ජනයට එක්වීමට තීරණය කිරීමයි.

එලෙස ඔවුන් සිය සේවාවලින් ඉවත් වුවහොත් විදුලි සැපයුමට බාධා සිදුවන්නේ කෙසේ දැයි එම සංගමයේ සභාපති අජිත් මුණසිංහගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ සිය ඉවත්වීම තුළින් බලාගාරවලට හානි සිදුවිය හැකි බවයි. මෙතෙක් පවත්වාගෙන පැමිණි විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම ද ඇන හිටිනු ඇති බවද පැවසුවා.

ඒ අනුව විදුලි අධිකාරීවරු, සිවිල් අධිකාරීවරු, යාන්ත්‍රික අධිකාරීවරු, ඉංජිනේරු සහකාරවරු සහ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සහකාරවරු ඒ යටතේ මෙම වර්ජනයට සහය වනු ඇති.

ඔවුන් සිය සේවාවලින් ඉවත්වීමට නියමිතව ඇත්තේ අද (18) මධ්‍යම රාති‍්‍රයේ සිටයි. ඊට බලපෑ හේතු පිළිබදවද නෙත් නිවුස් ඔහුගෙන් විමසා සිටියා.

එහිදී සඳහන් කෙරුණේ සේවකයන් සිටිය යුතු වැටුප්තලවල පිහිටුවා නොතිබීම හේතුකොටගෙන තමන් මෙම වර්ජනයට සහය ලබා දෙන බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ඉකුත්දා ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය මේ වනවිටද කි‍්‍රයාත්මක වනවා.

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකින් ඊයේ (17) දිනයේද හදිසි විදුලි බිදවැටීම් වාර්තා වුණා. අම්පාර, දියතලාව, ගාල්ල සහ පොළොන්නරුව අරලගංවිල යන ප‍්‍රදේශද ඒ අතරට අයත්. අම්පාර, වීරගොඩ ප‍්‍රදේශයට විදුලිය බිදවැටී ඇත්තේ මීට දින 4 කට පෙරයි. පෙරේදා සවස සිට දියතලාව ප‍්‍රදේශයේ විදුලිය බිදවැටී තිබුණා.

කෙසේවෙතත් හදිසි විදුලි බිදවැටීම් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා විදුලිබල අමාත්‍යාංශය දුරකතන අංක දෙකක්ද හඳුන්වා දී තිබෙනවා. 1987 හෝ 1901 යන දුරකතන අංක අමතා ඒ පිළිබද තොරතුරු දැනුම් දිය හැකියි.

විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ ඉල්ලා සිටියේ වර්ජනයේ යෙදුනු සේවකයින්ගේ වර්ජිත දින දෙක, වැටුප් සහිත නිවාඩු ලෙස සැලකිමට තීරණය කර ඇති බැවින් අද (18) දිනයේ සිට සේවයට වාර්තා කරන ලෙසයි.

මෙම ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් අද දිනයේ රාජකාරි සදහා පැමිණෙන්නේ දැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයෙන් නෙත් නිවුස් විමසීමක් කළා. මේ එහි කැදවුම්කරු රංජන් ජයලාල් සඳහන් කළේ ඊටද සේවකයින් ප්‍රතිචාරයක් දක්වා නැති බවයි.

විදුලිය බිදවැටුණු ඇතැම් ප‍්‍රදේශවල විදුලි සැපයුම යථාතත්ත්වයට පත් වූ සැණින් යළි බිදවැටුණු බවද නෙත් නිවුස් වෙත වාර්තා වුණා. වර්ජනය හේතුවෙන් නුපුහුණු පිරිස් සේවයට යොදාගැනීම මෙම තත්ත්වයට හේතුව බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

මේ අතර ඉල්ලීමක් සිදුකලහොත් විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා සිය සහාය ලබාදීමට සූදානම් බව ශී‍්‍ර ලංකා යුද හමුදාව ප‍්‍රකාශ කළා.