Wednesday, January 1, 2025

General line - 0115112241

සිතුල්පව්වේ ගල්ලෙන්වල නොහොබිනා වැඩ සිදුවෙන හැටි විහාරාධිපති හිමියන් පෙන්වයි




ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ පිහිටි ගල්ලෙන් ආශි‍්‍රතව විනාශයක් සිදුව ඇතැයි තහවුරු වූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්‍ෂ ජනරාල් ඊ.පී. මණ්ඩාවල කියාසිටියේ ගල්ලෙන්වල බුද්ධ ප‍්‍රතිමා තැන්පත් කිරීමට කැණීම් සිදුකිරීම ඔස්සේ එය සිදුව ඇති බවයි. 

එසේ සිදුකළේ මන්දැයි නෙත් නිවුස් සිතුල්පව්ව රජමහා විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන්ගෙන් විමසීමක් කළා.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථානවලට හානි කිරීමේ චෝදනා මත තමන් වහන්සේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ප‍්‍රකාශ කිරීමෙන් පසුවයි. 

එහිදී ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්නේ අයහපත් සිතුවිල්ලකින් එවැන්නක් සිදු නොකළ බවයි. "හැම ගල්ලෙනක් ගාවම මුරකාරයෝ තියන්නත් බැහැ. ඉතින් මෙම ගල්ලෙන් මොකක් හරි ප්‍රයෝජනවත් දෙයකට යොමු කරන්න හිතුවා. එහෙම හිතලා තමයි මේ ගල්ලෙන් ඇතුලේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කළේ. එහෙම වුණාම කවුරුවත් මේ ගල්ලෙන් තුළට කිට්ටු වෙන්නේ නෑ අශෝබන වැඩ කරන්න, නම් ගම් ලියන්න, ජාවාරම් කරන්න, සමාජ විරෝධී වැඩකරන්න වගේ දේවල්වලට. මොකද මේ ගල්ලෙන්වල ඒවැනි වැඩ නවත්වගන්න බැරිවයි හිටියේ. හැබැයි ගල්ලෙනට හානියක් කළේ නැහැ මම. කුඩා සිතුල්පව්වට යන පාරේ තියෙන ගල්ලෙනේ හරියට නොහොබිනා වැඩ කෙරෙනවා." යනුවෙන්ද සඳහන් කළා.

ප්‍රදේශය නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයෙක් මෙම ගල් ලෙන් ආශ්‍රිත සංවර්ධන කටයුතු සිදු කිරීමට සැළසුම් කර තිබූ බවත් මෙම ස්වාමින් වහන්සේගේ ක්‍රියාව නිසා ඒවාට බාධා සිදුවන්නට ඇතැයි සිතා මීට බලපෑම් සිදු කරන්නට ඇතැයි යනුවෙන්ද ඇතැම් ප්‍රදේශවාසීන් මත පළ කරනවා.

මෙම ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිවරයා වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි.

නෙත් නිවුස් කළ විමසීමකදී පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියාසිටියේ තමන්ට පුරාවිද්‍යා ආඥාපනතේ ඇති විධිවිධාන කි‍්‍රයාත්මක කිරීමට සිදුව ඇති බවයි. උන්වහන්සේගේ කටයුතු පුරාවිද්‍යා ආඥාපනත උල්ලංඝණය කිරීමක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

සිතුල්පව්ව පුරාවිද්‍යා රක්‍ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. එබැවින් එහි අයිතිය පැවරෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටයි. එවැනි භූමි භාගයක වෙනත් පාර්ශ්වයකට කිසිවක් සිදුකළ නොහැකි බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.

එසේ සිදුකරන්නේ නම් ඊට තමාගේ අවසරය ගතයුතු බවද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ප‍්‍රකාශ කළා. ඒ අනුව ඉදිරියේදී ගන්නා කි‍්‍රයාමාර්ග කවරේ දැයි පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ඊ පී මණ්ඩාවලගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ ලංකාව පුරාම මෙවැනි කටයුතු සිදු වීමට ගියහොත් පුරා වස්තු ආරක්ෂා කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වෙන බවයි. ඒ හේතුවෙන් ඉදිරි නීති උපදෙස් මත කටයුතු කරන්නට තීරණය කර ඇති බවත් සඳහන් කළා.