Sunday, May 5, 2024

General line - 0115112241

රොකට් මෑන්ගේ 'මරණයට' ට්‍රම්ප් අත වනයි !




අමෙරිකානු ජනාධිපතිවරයා  එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් සිය පළමු කතාව සිදු කරමින්  අනතුරු ඇඟවීමක්  කරනු ලැබුවා.

එක්සත් ජාතීන්ගේ 72 වන මහා මණ්ඩල සැසිය ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (19) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ වුණා.

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සමච්චලයට ලක් කරමින් අදහස් දැක්වූ අමෙරිකානු ජනාධිපතිවරයා "රොකට් මෑන් සිය දිවි හානිකර ගැනීමේ ගමනක නිරත වෙමින්" සිටින්නේ යයි සඳහන් කරනු ලැබුවා.

සිය කතාවේ දී ඉරානයට ද පහර දුන් ජනාධිපති ට්‍රම්ප් 'ටෙහෙරාන්' පාලනය විග්‍රහ කළේ " මැද පෙරදිග අස්ථාවර කරන දූෂිත ආඥාදායකත්වයක්" ලෙසයි.

ඉරානය සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක්වූ අමෙරිකානු නායකයා ත්‍රස්තවාදයට දෙන සහයෝගය නතර කරන මෙන් 'ටෙහෙරාන්' බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

එසේම බරක් ඔබාමා පාලන සමයේ දී ඉරාන් න්‍යෂ්ටික ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇතිකර ගත් ගිවිසුම ද ඔහුගේ විවේචනයට ලක් කෙරුණා.


තව දුරටත් අදහස් දැක්වූ  ට්‍රම්ප් එක්සත් ජනපදයට "ඒක පාර්ශ්වීය ගිවිසුම් වලට" ඇතුල් වීමට හෝ ඒවායේ වාසි ලබා ගැනීමට නොහැකි යයි සඳහන් කර සිටියා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසුවෙලා පිළිබඳව සඳහන් කරමින්  එරට ආණ්ඩුව වාමාංශික ආණ්ඩුවක් යයි හඳුන්වා දෙමින් එය අමෙරිකාවේ සතුරු රාජ්‍යයක් හැටියට නම් කළා.

අනුමත කළ නොහැකි වෙනිසුවෙලා පාලනය ඉදිරියේ එක්සත් ජනපදයට බලා සිටිය නොහැකි බවත් ඔහු කියා සිටියා.

"සමාජවාදය මතවාදයක්" පමණක් හැටියට විග්‍රහ කරමින් එය හෙලා දුටු ඩොනල්ඩ් ට්‍රම්ප් එමගින් අත්වුණේ සන්තාපය -විනාශය සහ අසාර්ථකභාවය පමණක් බවත් සඳහන් කළා.

(බී.බී.සී. ඇසුරිනි )