Sunday, September 8, 2024

General line - 0115112241

පොල්වලට පාලන මිලක් දාන්න බැහැලු




පොල් සඳහා පාලන මිලක් පැනවීම සම්බන්ධයෙන් සලකා බැලීමට ඊට අදාළ පිරිවිතරයන් පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් තමන් වෙත ලබාදිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එහි සභාපති හසිත තිලකරත්න මේ බව කියා සිටියේ පොල් සඳහා උපරිම මිලක් නියම කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි.

දිවයිනේ විවිධ ප‍්‍රදේශවල ඉහළ මිල ගණන්වලට පොල් අලෙවි කෙරෙන බැවින් ඒ සඳහා පාලන මිලක් පැනවීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල පැවසුවා. 

කෙසේ වෙතත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ඊයේ (23) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පොල් සඳහා පාලන මිලක් පැනවීමේ හැකියාවක් නොමැති බවයි. කෙසේවෙතත් සාමාන්‍ය මිලට ජනතාවට පොල් ලබාගත හැකි වැඩපිළිවෙලක් අනිවාර්යයෙන්ම සකස් කරන බවද පෙන්වා දුන්නා.

දිවයිනේ විවිධ ප‍්‍රදේශවල වෙළෙන්ඳන් විවිධ මිල ගණන් යටතේ පොල් අලෙවි කරන බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණා. පොල් ත‍්‍රිකෝණයට අයත් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ද පොල් අලෙවි වන්නේ ඉහළ මිලකටයි.  මධ්‍යම කඳුකරයේ ද පොල් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. 

උතුරු පළාතේ ද පොල් ගෙඩියක් රුපියල් සියයකට ආසන්න මිලකට අලෙවි වන බවයි වෙළඳපොල තොරතුරු සොයා බැලූ නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ.