Friday, May 3, 2024

General line - 0115112241

ක්‍රිකට් පෙරළියකට ඇමති කැමැත්ත - පාසැල් සුදානමින් 




සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරග අතරට ඉදිරි වසරේ දී ක්‍රිකට් (ලෙදර් පන්දු)  ක්‍රීඩාව ද එක් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා සැළසුම් කර තිබෙනවා.

මේ වසරේ දී සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරග අතරට බීච් වොලිබෝල්  සහ රගර් ක්‍රීඩාව එක්කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ.

පාසල් ක්‍රීඩාව නංවාලීම සඳහා ක්‍රීඩාව පිළිබඳ ප්‍රායෝගික භාවිතයක් ඇති දක්ෂ ක්‍රීඩකයින් 3850 දෙනෙකු ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස නුදුරේ දී ම අධ්‍යාපන පද්ධතියට බඳවාගන්නා බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  මෙහිදී සඳහන් කර සිටියා.

ඇතැම් පිරිස් නුදුරේ දී බඳවාගැනීමට නියමිත ක්‍රීඩා පුහුණුකරුවන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ලකරමින් සිටින බව පෙන්වාදුන් අමාත්‍යවරයා, ජාතික මට්ටමින් හා ජාත්‍යන්තර තලයෙහි විශිෂ්ට ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රායෝගිකව ම ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස පද්ධතියට සම්බන්ධ කරගැනීම සඳහා මෙම බඳවාගැනීම් සිදුකරන බව පැවසුවා. 

ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා කටයුතුවලට වැඩි අවධානය යොමුකිරීම හේතුවෙන් අධ්‍යාපන කටයුතු මගහැරී ඇති බවත්, එලෙස උසස් අධ්‍යාපන අවස්ථා අහිමි වූ නමුත් ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශිෂ්ට දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන්  පාසල් ක්‍රීඩා පද්ධතියට උපරිම දායකත්වය ලබාගැනීම සඳහා ක්‍රීඩා පුහුණුකරුවන් බඳවාගැනීමේ අවම සුදුසුකම අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්වීම ලෙස සලකා ඇති බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

ක්‍රීඩා පිටියේ රැඳී සිට ක්‍රීඩාව ඉගැන්විය හැකි පුහුණුකරුවන්ගේ  හිඟය පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රය කඩාවැටීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව ද පෙන්වාදුන් අමාත්‍යවරයා, අලුතෙන් බඳවාගන්නා ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රීඩා පුහුණුවක් ලබාදීමට  පියවර ගන්නා බව ද සඳහන් කළා.