Wednesday, January 8, 2025

General line - 0115112241

රෝහින්ග්‍යා සරණාගතයින්ට හිරිහැර කළ හැටි පෙනෙන වීඩියෝ මාධ්‍ය වෙත!




මියන්මාර් සරණාගතයන් පිරිසකට විරෝධය පළ කරමින් ගල්කිස්ස ප‍්‍රදේශයේදී ඉකුත්දා ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරා තිබෙනවා. ඒ, වැඩ බලන පොලිස්පති සි.ඩි වික‍්‍රමරත්නගේ නියෝගයක් අනුවයි. මෙම සිද්ධියට අදාල සංස්කරණය නොකළ දර්ශන රුපවාහිනි මාධ්‍ය ආයතනවලින් ලබා දීම සඳහා ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නියා්ගයක් ලබා ගෙන ඇති බවද පොලිස් මූලස්ථානය නිවේදනය කළා. 

මේ අතර, නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී.විජේවීර ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රෝහින්ග්‍යා සරණාගතයන් පිළිබඳ අර්බුදය යොදා ගනිමින් මෙරට පටු දේශපාලනික අරමුණු සහිත පිරිසක් සංහිඳියාවට තර්ජනයක් වන ලෙස අසත්‍ය ප‍්‍රචාර හරහා සමාජය නොමග යැවීමට උත්සාහ දරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. 

ශ‍්‍රී ලංකා මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් එම සරණාගතයින් පිළිබඳ කටයුතු කිරිමේදී රජය පිලිගත් නීති රාමුවෙන් හෝ නිසි ක‍්‍රියා පටිපාටියෙන් බැහැරව කටයුතු කර නොමැති බව ද එම නිවේදනයේ දැක්වෙනවා. 

අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිළ ගල්කිස්ස ප‍්‍රදේශයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

"මේ රටේ මේ ප්‍රශ්නය ඇති කළේ ඇමතිවරු. පා.ච රණවක ඇමති තුමා විදේශ කටයුතු රාජ්‍ය ඇමතුමා මාධ්‍ය ඉස්සරහට ඇවිත් කිව්වෙ රෝහින්ග්‍යා සරණාගතයින් ලංකාවේ නැත. ඒ අය පිටකර අවසන්ය කියල. එහෙම කියල තියෙද්දි මේ විදියට සරණාගතයින් ඉන්න බව දැනගෙන රටේ ජනතාව කුපිත වීමට වග කියන්න ඕන ඒ ඇමතිවරු. දණ්ඩනීති සංග්‍රහයේ තියෙන විදියට කැරළි කෝලහාල ඇතිවිය හැකි ප්‍රකාශ කිරීම අත්අඩංගුවට අරගෙන ඇප නොදී තියාගෙන ඉන්න පුළුවන් වරදක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා නෙත් නිවුස් වෙත අදහස් පළ කළේ මෙලෙසයි.

"ඉවසීමක් තියෙන සමාජයක් විදියට, මිනිස්සු දිහා දයාවෙන් කරුණාවෙන් බලන ජනතාවක් ඉන්න රටක් විදියට, සරණාගතයෝ නාවික හමුදාවෙන් අරගෙන එක්සත් ජාතීන්ගේ සරණාගයින් පිළිබඳ ආයතනයට බාර දීල තියෙනව. ඒ අය මේ අයව යවන්න වෙනත් රටක් හොයනව. එතකනුයි මේ රැඳවීම කරල තියෙන්නෙ. අසරණ වෙලා ඉන්න මේ අහින්සක මිනිස්සු දිහා, ලදරුවෝ දිහා බැලිය යුතුයි කයන එකයි අපේ හැඟීම"