ලොව දිගම ඔසරි පොට ලෙස ගිනස් වාර්තාවක් පිහිටුවීමට පාසල් සිසුන් යොදා ගැනිමේ සිද්ධිය සම්බන්ධයෙන්, මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා ලෙස චෝදනා එල්ල වී සිටියදී ඌව පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම්වරයා ලෙස පත්කර එවූ පී.බී විජේරත්නට එරෙහිව ඌව පළාත් සභාවේදී අද (28) යෝජනාවක් සම්මත වුණා. එම පලාත් සභාවේ අද පැවති මාසික රැස්වීමේදී මෙම යෝජනාව සම්මත වුණේ ඒක ඡන්දයෙන්. චෝදනා එල්ල වී ඇති එම නිලධාරියා වෙනුවට දීර්ඝ කාලයක් තිස්සේ ඌව පළාතේ සේවය කරන නිලධාරියෙකු එම ධුරයට පත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලමින් මෙම යෝජනාව සම්මත කර ගැනුනු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
යෝජනාව ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ ඌව පලාත් සභාවේ විපක්ෂ නායක ර. මු. රත්නායක කියා සිටියේ දක්ෂ මෙන්ම ජ්‍යේෂ්ඨ නිළධාරීන් සිය පළාත තුළ සිටියදී චෝදනා ලැබූ නිළධාරියෙකු වෙනත් පළාතකින් අදාළ තනතුරට පත් කිරීම අසාධාරණ බවයි. මෙහිදී අදහස් දැක්වූ ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පැවසුවේ මෙම නිලධාරියා පළාත් සභාවට පැමිණ වැඩ භාර ගන්නා තුරු තමන් කිසිවක් නොදැන සිටි බවයි. කාර්යාලය දෙසින් පිරිත් හඬක් ඇසී සොයා බලන විට එම නිලධාරියා පැමිණ වැඩ භාරගත් බව දැනගන්නට ලැබුණ බවද පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළා.