Wednesday, January 8, 2025

General line - 0115112241

කාලසටහන් එපා කියා ගමනාගමන කොමිසමේ සභාපතිට "මහනුවර කොළඹ බස් මැරයෝ" පහරදෙති!




මහනුවර කොළඹ සුඛෝපභෝගී බස්‌ රථවලට චක්‍රීය කාලසටහනක්‌ හඳුන්වා දීම පිළිබඳ උරණවූ මැරයන් පිරිසක්‌ ඊයේ (28) ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිවරයාට තර්ජනය කර පහරදී තිබෙනවා. ගමනාගමන කොමිෂන් සභා කාර්යාලයේදී තමන්ට මෙම බස්‌ මැරයින් තර්ජනය කර පහර දුන් බව පවසමින් සභාපති එම්. ඒ. බී. හේමචන්ද්‍ර නාරාහේන්පිට පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මහනුවර කොළඹ සුඛෝපභෝගී බස්‌ රථ සේවාව දේශපාලඥයින් ඇතුළු පුද්ගලයින් කිහිප දෙනකුගේ ඒකාධිකාරිය ලෙස වසර විස්‌සක සිට ක්‍රියාත්මක වන බවයි පැවසෙන්නේ. මෙම මාර්ගයේ බස්‌රථ ගමනාගමනය චක්‍රීය කාලසටහනක්‌ අනුව ධාවනය කිරීමට ගමනා ගමන කොමිෂන් සභාව කිහිප අවස්‌ථාවකම උත්සාහ කළද දේශපාලන හිතවත්කම් ඇති පුද්ගලයන් කිහිප දෙනකු එම කාලසටහන හඳුන්වාදීම නතර කර ඇත. වසර විස්‌සක්‌ පුරා කාලසටහනකින් තොරව බස්‌ රථ ධාවනය කරන ලංකාවේ එකම මාර්ගය කොළඹ - නුවර නිසා විධිමත් කාලසටහනක්‌ සකස්‌ කර ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනා ගමන කොමිසම තීරණය කර තිබෙනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභා කාර්යාලයට පැමිණ සභාපතිවරයාට තර්ජනය කර පහර දී ඇත්තේ මීට එරෙහි පිරිසකි. පහරදීම සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු නාරාහේන්පිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.