Friday, May 17, 2024

General line - 0115112241

පොලිසිය හරියට නීතිය ඉටු කරන්නෑ! ත්‍රීරෝද රථවලට නීතිය දැඩි කරන්නැයි ත්‍රිරෝද රථ හිමියන්ගෙන්ම ඉල්ලීමක්




පුද්ගලයින් තිදෙනෙකු පමණක් ගමන් කළ හැකි නීතිය කඩ කරන ත‍්‍රිරෝද රථ රියදුරන්ට එරෙහිව වහාම පියවරක් ගත යුතු බව සමස්ත ලංකා ත‍්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ලලිත් ධර්මසේකර කියා සිටියේ එය නීතියක් බවට පත් කර ගනු ලැබූවේ ද ත‍්‍රිරෝද රථ සංගම් විසින්ම බවයි. 

ඇල්පිටිය වලහේන ප‍්‍රදේශයේ දී පාසල් සිසුන් 12 දෙනෙකු රැගත් ත‍්‍රිරෝද රථයක් අනතුරට පත්වීම, මේ පිළිබඳ යළි කතා බහක් ඇති වීමට හේතු වී තිබෙනවා. ඊයේ පස්වරුවේ සිදු වූ මෙම අනතුරෙන් එහි රියදුරු සහ පාසල් සිසුන් දොළොස් දෙනාද තුවාල ලැබූවා. ඉකුත්දා තිස්සමහාරාම - කතරගම ප‍්‍රධාන මාර්ගයේ දී ද හත් දෙනෙකු රැගත් ත‍්‍රිරෝද රථයක් බස් රථයක ගැටී සිදු වූ අනතුරකින් ත‍්‍රිරෝද රථයේ රියදුරා සහ එහි ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. 

රථ වාහන නීතිය නිසි පරිදි ක‍්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් පොලිසිය වගකිව යුතු බවයි ලලිත් ධර්මසේකර වැඩිදුරටත් කියා සිටියේ. 

ත‍්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය එල්ල කරන මෙම චෝදනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් පොලිසියෙන් ද විමසීමක් කළා. බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ නීති ක‍්‍රියාත්මක වුවද එම නීති කඩ කරන පුද්ගලයින් ද සිටින බවයි. කෙසේ වෙතත් එම පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක‍්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළා. ඉදිරියේ දී චක‍්‍රලේඛයක් මගින් අදාළ නීති කඩකරන්නන්ට එරෙහි දඬුවම් තවදුරටත් දැඩි කිරීමට පියවර ගන්නා බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.