Friday, January 10, 2025

General line - 0115112241

"රටේ විනාශ වෙන ආහාර ගැනත් තීන්දු තීරණ ගන්නවා" - ජනපති කියයි (UPDATE)




මෙරට ආහාර නිෂ්පාදනයෙන් තුනෙන් එකක කොටසක් වනසතුන් විසින් විනාශ කර දමන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

මෙම තත්ත්වය මෙරට ආහාර නිෂ්පාදන වැඩපිළිවෙලට ප‍්‍රබල අභියෝගයක් වී ඇති බවයි කැකිරාව, තිබ්බටුවැව වෙල්යායේ අද පැවති ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමයේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා කියාසිටියේ.

මෙම තත්ත්වයන් සැලකිල්ලට ගෙන ඉදිරියේදී තීන්දු තීරණවලට එළඹීමට සිදුවන බවද ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියා.

කෘෂිකර්මාන්තය මෙන්ම ගොවි ආර්ථිකය ශක්තිමත් කෙරෙන යෝජනා රැසක් ලබන අයවැයට ඇතුළත් කිරීමට තීරණය කර ඇති බවයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙහිදී කියාසිටියේ.

2018 වර්ෂය දේශීය ආහාර නිෂ්පාදන වර්ෂය ලෙස නම් කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
  

------------------------------

නියඟය හා ගං වතුර නිසා රටින් හාල් ගෙනෙන්න වුණා!

(06-10-2017 12:30)

‘‘එක් වෙමු - නැගිටිමු - අටු කොටු පුරවමු‘‘ ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය අද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ඒ, කැකිරාව තිබ්බටුවැව ජලාශය අසළ දීයි. අදින් ආරම්භ වන මෙම සතියේ අද දිනය නම් කර ඇත්තේ ගොවි දිනය ලෙසටයි.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ පැවති ගංවතුර තත්ත්වය සහ නියං තත්ත්වය හේතුවෙන් විදෙස් රටවලින් සහල් ආනයනය කිරීමට වත්මන් රජයට සිදු වූ බවයි. එම තත්ත්වය මගහරවා ගැනීමට මෙම වැඩසටහන උපකාරී වනු ඇති බවයි ජනාධිපතිවරයා උත්සව සභාව අමතමින් කියා සිටියේ.  පොල් නිෂ්පාදනය පහත වැටිමේ හේතු සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කළා. 

===========================================

‘‘එක් වෙමු - නැගිටිමු - අටු කොටු පුරවමු‘‘ ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය ජනපති පෙරටුව අද ඇරඹේ

06-10-2017 05:30

 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මග පෙන්වීමෙන් ක‍්‍රියාත්මක කෙරෙන ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය අද (06) ආරම්භ වනවා. කැකිරාව තිබ්බටුවැව ජලාශය අසළදී ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් හෙට පෙරවරු 08.30ට එය ආරම්භ වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. 

‘‘එක් වෙමු - නැගිටිමු - අටු කොටු පුරවමු‘‘ යන්න මෙම වැඩසටහනේ තේමාවයි. 

හෙට සිට ලබන 12 වනදා දක්වා ආහාර නිෂ්පාදන සංග‍්‍රාමයේ ආරම්භක සතිය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ යටතේ රට පුරා ජාතික වැඩසටහන් රැුසක් ක‍්‍රියාවට නැංවීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 
දේශගුණික හා කාලගුණික විපර්යාස හමුවේ අභියෝගයට ලක්වූ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන නව ජවයකින් අඛණ්ඩව හා තිරසර ලෙස ඉදිරියට ගෙන යාම මෙම වැඩසටහනේ අරමුණයි.