Friday, January 10, 2025

General line - 0115112241

විදෙස් නියෝජිතයෙක් ශ‍්‍රී ලංකාවේ රහස් සොයන්න ඇවිත්




ජර්මනියේ පිහිටි යුරෝපා ව්‍යවස්ථා සහ මානව අයිතිවාසිකම් මධ්‍යස්ථානයේ ප‍්‍රධානතම කි‍්‍රයාකාරිකයකු වන අන්ඩි‍්‍රයා ෂූලර් මේ දිනවල ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වනවා.

ඉකුත් සැප්තැම්බර් 15 වැනිදා ශ‍්‍රී ලංකාවට පැමිණි ඔහු මේ වනවිට උතුරේ ප‍්‍රදේශ රැසක සංචාරය කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

අන්ඩි‍්‍රයා ෂූලර්, පසුගිය කාලයේ යුරෝපා ව්‍යවස්ථා සහ මානව අයිතිවාසිකම් මධ්‍යස්ථානය හරහා ශ‍්‍රී ලංකාවට විවිධ බලපෑම් සිදුකළ පුදගලයකු ලෙස සැළකෙනවා. එවකට ජර්මනියේ ශ‍්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිවරයා ලෙස  කටයුතු කළ මේජර් ජෙනරාල් ජගත් ඩයස්ට එරෙහිව ද ඔහු විවිධ අකටයුතුකම් සිදුකර තිබුණා. 

එමෙන්ම ස්විට්සර්ලන්තයේ ට‍්‍රයර් සහ ජර්මනියේ බෙඩ්‍රෝට් වෝකර් යන සංවිධාන සමග එක්ව මේජර් ජෙනරාල් ජගත් ඩයස්ට එරෙහිව යුධ අපරාධ චෝදනා පත‍්‍රයක් ද සකසා තිබෙනවා.

අදාළ සංවිධාන විසින් එම චෝදනා පත‍්‍රය එංගලන්තයේ, ස්විට්සර්ලන්තයේ හා ජර්මනියේ රජයන්හි වගකිවයුතු පුද්ගලයන්ට ඉදිරිපත් කර, මේජර් ජෙනරාල් ජගත් ඩයස් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි ඉල්ලා ඇත්තේ. 

එහි ප‍්‍රතිඵලයක් ලෙස 2011 වසරේ මැයි මස 11 වැනිදා ජර්මන් පාර්ලිමේන්තුවේදී ජගත් ඩයස්ට එරෙහි යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා. කෙසේවෙතත් එවකට ජර්මන් පාර්ලිමේන්තුව නිල ප‍්‍රකාශයක් සිදුකරමින් කියාසිටියේ මේජර් ජෙනරාල් ජගත් ඩයස්ට එරෙහි චෝදනා කිසිවක් සනාථ නොවූ බවයි. 

මේ දිනවල දිවයිනේ සංචාරයක නිරත වන අන්ඩි‍්‍රයා ෂූලර් එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදී කණ්ඩායම් සහ ශ‍්‍රී ලංකා හමුදාවට විරුද්ධ ලාංකික පුද්ගලයින් සමග සබදතා පවත්වන්නකු බවයි ආරක්ෂක අංශ පවසන්නේ.

එමෙන්ම අන්ඩි‍්‍රයා ෂූලර් හා පසුගියදා ශ‍්‍රී ලංකාවේ සංචාරයකට එක්වූ ගෝලීය දෙමළ සංසදයේ ප‍්‍රධානී එස්.ජේ. එම්මානුවෙල් පියතුමා අතර සමීප සබදතාවක් පවතින බවට ද වාර්තා වනවා. ඒ අනුව ශ‍්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයේ සිදුවන කටයුතුවලදී මොවුන් දෙදෙනා එක්ව කි‍්‍රයාකරන බවයි ආරක්ෂක අංශ පවසන්නේ.