මුහුදු රළ මගින් බල ශක්ති උත්පාදනය කරලීම පිළිබඳව තමන් සතු අත්දැකීම් සහ තාක්ෂණය ශ්‍රී ලංකාවට සැපයීමටත්, ශ්‍රී ලංකා මුහුදු තීරයේ මුහුදු රළ බල ශක්ති නිෂ්පාදනය සඳහා සහය ලබා දීමටත් තමන් සූදානම් බව ෆින්ලන්තයේ ඒ.ඩබ්ලිව් බලශක්ති ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජෝන් ලියෙලෙයුන්ඩ් (John Liljelund) පවසා තිබෙනවා.
ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ මූලික සමීක්ෂණ කාර්යයන් දැන් සිදු කර අවසන් බවත්, ලබන වසරේ දී ශ්‍රී ලංකාවේ මුහුදු රළ බලශක්ති නිපදවීමේ කාර්යයන් ආරම්භ කිරීමට අපේක්ෂාකරන බවත් එහිදී අනාවරණය වී තිබෙනවා.
ජෝන් ලියෙලෙයුන්ඩ් එසේ සඳහන් කළේ ලෝකයේ නවතම පුනර්ජනනීය බල උත්පාදක මාධ්‍යක් වූ මුහුදු රළ බල උත්පාදනය පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස ඊයේ (09) සන්ධ්‍යාවේ ෆින්ලන්තයේ හෙල්සිංකි නුවර ඒ.ඩබ්ලිව් බලශක්ති ආයතනයේ අධ්‍යනයන චාරිකාවක නිරත වූ අවස්ථාවේදීයි.
මුහුදු රළ බල උත්පාදනය සඳහා ඒ.ඩබිලිව් ආයතනය විසින් නව තාක්ෂණයෙන් සන්නද්ධ යන්ත්රසූත්ර ගණනාවක් නිර්මාණය කර ඇති අතර, ශ්‍රී ලංකා දූත පිරිස ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ද අවබෝධයක් ලබා ගෙන තිබෙනවා.
තවමත් ලොව පුරා බල ශක්ති උත්පාදනය සඳහා මහා පරිමාණ වශයෙන් මුහුදු රළ යොදා නොගන්නා නමුත්, අනාගත ලෝකයේ බලවත්ම බලශක්ති උත්පාදන මාධ්‍යයක් ලෙස මුහුදු රළ භාවිතයට ගැනෙණු ඇති බවයි මෙහිදී අනාවරණය වී ඇති තවත් කරුණක් වන්නේ.
පරිසර හිතකාමී මුහුදු රළ බල ශක්තිය, විදුලි බලය නිපදවීම, මුහුදු ජලය පිරිසිදු කිරීම හා ජලය පොම්ප කිරීම වැනි කාර්යයන් සඳහා පහසුවෙන් යොදා ගත හැකි වනවා. මෙතෙක් සිදු කළ පර්යේෂණයන් අනුව ඉන්දීය සාගරය ද මුහුදු රළ බල ශක්ති උත්පාදන කලාපයක් සේ සැලකෙනවා.