Friday, January 10, 2025

General line - 0115112241

විරෝධතාකරුවන්ට හුස්ම ගැනීමේ අපහසුතා - හම්බන්තොටදී එල්ල කළ ජල ප්‍රහාරයට විස රසායනිකයක් මුසු කළා ලු

හබරාදුව - නිමල් අල්ගෙවත්ත




රාජ්‍ය සම්පත් විකිණීමට විරුද්ධව පසුගිය දා හම්බන්තොට උද්ඝෝෂණයේ නිරත වු  පිරිසට පොලිසිය විසින් එල්ල කරන ලද්දේ  ජලය සහ කදුළු ගෑස් නොවන බව දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල පවසනවා.

එහිදී ජලයට මිශ්‍ර කර රසායනික ද්‍රව්‍යක් ද එල්ල කළ බවයි සම්පත් අතුකෝරල සඳහන් කරන්නේ.

අද (10) දින දකුණු පළාත් සභාව, දකුණු පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩගේ ප්‍රධානත්වයෙන් රැස් වු අවස්ථාවේ දී හෙතෙම මේ බව සඳහන් කළා.

එහිදී "ඔය ගහපු ජල ප්‍රහාරයට සහ කදුළු ගෑස්වලට මිශ්‍ර කරලා තමයි රසායනික ද්‍රව්‍යය ගැහුවේ. ඔය ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේ එතන හිටපු ගොඩක් අයට හුස්ම ගන්න බැරි වුණා. කැස්ස.. වමනය..හැදිලා තියනවා. මේ ආණ්ඩුව ත්‍රස්තවාදීන්ට සලකන ආකාරයෙන් තමයි උද්ඝෝෂකයින්ට ගැහුවේ. මේ ජල හා කදුළු ගෑස්වලට මිශ්‍ර කර එල්ල කළ විස රසායනික ප්‍රහාරය සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටිනවා." යනුවෙන් ද ඔහු සඳහන් කළා.