Saturday, January 11, 2025

General line - 0115112241

යෞවන සමාජ සාමාජිකයන් සියල්ලන්ටම 'රක්ෂණයක් අරන් දෙමින්' ජීවිතයෙන් සමුගත් යොවුන් පාර්ලිමේන්තු සගයා




යෞවන සමාජ තරුණ තරුණියන්ට ජීවිත රක්ෂණ ආවරණයක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇරඹෙන මෙම ජීවිත රක්ෂණ ආවරණ ක්‍රමයට යෞවන සමාජ ක්‍ෂේත්‍රයේ වසර 2කට වඩා ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කරන සෑම යෞවන සමාජ සාමජික සාමාජිකාවකටම  හිමිකම් කීමේ හැකියාව පවතිනවා.

එහිදී ඔහු හෝ ඇය හදිසියේ ජීවිතක්ෂයට පත්වුවහොත් රුපියල් ලක්ෂයක ජීවිත රක්ෂණාවරණයක් ලබාදීම සිදු කෙරෙනවා. ඒ සඳහා අරමුදලක් ද ඇති කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම අරමුදල සඳහා ජාතික තරුණ සේවා සභාවේ මුදල් වැය නොකරන අතර වෙනත් පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් ඊට මූල්‍යමය ශක්තිය සැපයෙන බවයි තරුණ සේවා සභාව සඳහන් කළේ. 

මේ සඳහා මූලික අඩිතාලම සකස් වී ඇත්තේ ශ්‍රී ලංකා තෙවන යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාවනැල්ල යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලයේ හිටපු සභාපති සහ හිටපු යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික සෝමරත්නගේ පසුගියදා සිදුවූ හදිසි මරණයෙන් පසුව ඉදිරිපත් වූ අදහස්වලට අනුවයි.

එම ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ ඊයේ (10) දින මාවනැල්ලේ පිහිටි ඔහුගේ නිවසට පැමිණ රක්ෂණ ආවරණය ආරම්භ කරමින් රුපියල් ලක්ෂය රක්ෂණ ආවරණ වන්දි මුදල පිරිනැමුවා. 

ඊට අමතරව ඔහුගේ නිවස සාදා ගැනීම සඳහා පවුලේ සාමාජිකයන් වෙත තවත් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ද ප්‍රදානය කෙරුණා. ඔහුගේ සහෝදරියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සොයා බලා ඒ වෙනුවෙන් කටයුතු කිරීමටද පොරොන්දු වී තිබෙනවා.

ඒ අනුව මෙම සංකල්පයේ ප්‍රතිලාභ ලාංකීය යෞවන සමාජ ක්‍ෂේත්‍රයේ කටයුතු කරන සෑම සාමාජිකයකුටම අද සිට භුක්ති විඳීමට වරම් ලැබෙනවා.

වර්ෂ1983දී  ආරම්භ කළ යෞවන සමාජය අද වන විට දිවයින පුරා ව්‍යාප්ත වෙමින් යෞවන සමාජ සංඛ්‍යාව 13028 පමණ ඇති අතර එහි වත්මන් සාමාජිකයන් සංඛ්‍යාව ලක්ෂ 05 ක් ඉක්මවනවා.