Thursday, January 16, 2025

General line - 0115112241

කටකතා පැතිරුවොත් වැඩ වරදියි




ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියට අදාළව නොයෙකුත් අසත්‍ය ප්‍රචාර සහ කටකතා පැතිර යමින් ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

විශේෂයෙන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මෙම තත්ත්වය දැකගත හැකි බවයි සඳහන් කරන්නේ.

ගාල්ල ගිංතොට සිද්ධියට අදාළව මෙන්ම වෙනත් සිද්ධින්වලට අදාළවද මහජනතාව අතර නොසන්සුන්තාවයක් ඇතිකරවීමේ අදහසින් මෙවැනි ප්‍රචාර සිදුකරන තැනැත්තන්ට එරෙහිව දැඩිවම නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු සිදු කරමින් අති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

මේ අතර ගාල්ල ගිංතොට ප‍්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් කඩිනමින් ලබාදෙන්නැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක පොලිස්පති පූජිත් ජයසුන්දරට නියෝග කර තිබෙනවා.

ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කළ නියෝගයට අනුවයි. 

ගිංතොට ප‍්‍රදේශයේ ඉකුත්දා ඇතිවූ නොසන්සුන්කාරී තත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රමුඛ අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් ඊයේ (19) එම ප‍්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

එහිදී එකඟතාවකට පැමිණියේ තත්ත්වය සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇතත් ප‍්‍රදේශයට පැනවූ ආරක්ෂාව තවදුරටත් පවත්වාගෙන යාමටයි. ඒ අනුව නැවත දැනුම්දෙන තුරු ආරක්ෂාව ඉවත් කිරීම හෝ ලිහිල් කිරීම නොකළ යුතු බවටයි අමාත්‍ය සාගල රත්නායක පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ.