Thursday, January 16, 2025

General line - 0115112241

එජාපයේ පිරිසක් ජනපති හමු වී කළ ඉල්ලීම

හේමන්ත කහවලගේ




ඉකුත් ආණ්ඩුව සමයේ සිදු වූ බව කියන මහා පරිමාණ ගනුදෙනු 03ක් පිළිබඳ විමර්ශන ආරම්භ කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරු පිරිසක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව හෙජින් ගනුදෙනුව, ශ‍්‍රී ලංකන් එයාර්ලයින් ගනුදෙනුව සහ ග‍්‍රීක බැඳුම්කර නිකුතුව පිළිබඳ සොයා බැලීමට ජනාධිපති විමර්ශන කොමිසන් සභාවක් පත් කරන ලෙසටයි ඉල්ලා ඇත්තේ.

මුජිබර් රහුමාන්, ජේ. සී. අලවතුවල හා ආශු මාරසිංහ යන පිරිස පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඉකුත්දා ජනාධිපතිවරයා මුණගැසුණු අවස්ථාවේ මෙම ඉල්ලීම සිදු කර තිබුණා.

ඊට ජනාධිපතිවරයා ද සිය එකඟතාව පළ කර ඇති බවයි වාර්තා වන්නේ. 

ග‍්‍රීක රජය මගින් නිකුත් කළ බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීම හේතුවෙන් ශ‍්‍රී ලංකාවට පාඩුවක් සිදු වූ බව පවසමින් මීට පෙර එක්සත් ජාතික පක්ෂය අධිකරණය හමුවේ නඩුවක් ද ගොනුකර තිබුණා.

එමගින් පෙන්වා දී තිබුණේ ග‍්‍රීසියේ ආර්ථිකය කඩා වැටෙමින් තිබියදී එරට බැඳුම්කරවල මුදල් ආයෝජනය කර ඇති බවයි. 

හෙජින් ගනුදෙනුව හරහාද ශ‍්‍රී ලංකාවට රුපියල් මිලියන එක් ලක්ෂ 24,000ක පමණ පාඩුවක් සිදුව ඇති බවයි ඉකුත් සමයේ චෝදනා එල්ල වුණේ.