ශ්‍රී ලංකාවේ ජාතික ධජය පිළිගැනීමට සූදානම් නොමැති බවට ප්‍රකාශ කළ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන්ට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව නීතිවේදීන් පවසනවා.
මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා සඳහන් කළේ "මේ ඇමතිවරයා ජාතික ධජය ඔසවන්න බෑ කියලා විතරක් නෙමෙයි..ඒක පිළිගන්නත් බෑ කියලා කියනවා.. මෙතන පැහැදිළිවම ව්‍යවස්ථාව උල්ලංගණය කිරීමක් සිද්ධවෙලා තියෙනවා. මීට ඉස්සෙල්ලත් මෙහෙම වුණා. අමිර්තලිංගම්ලා ඒ කාලේ ව්‍යවස්ථාව පිළිගන්නේ නැති තැනට ආපුවාම පාර්ලිමේන්තුවට ගත්තෙත් නෑ.. මන්ත්‍රි දූර පවා අහිමි වුණා." යනුවෙනි.
පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා සම්බන්ධයෙන් පියවර ගැනීමේ වැඩි වගකීමක් පැවරෙන්නේ පළාත් ආණ්ඩුකාරවරයාට බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
"මේ ගැන වහාම විනය පරීක්ෂණයක් පවත්වලා..මහඇමතිවරයාට දන්වන්න ඕනේ. එතනදි වුණ වැරද්ද හදා ගන්න හරි වෙනයම් ක්‍රියාමාර්ග ගන්න හරි සිදු වෙනවා. ඔහුට පළාත් සභාවේ අසුන් ගැනීම, අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම තහනම් කරන්න පුළුවන්. ඒ සම්බන්ධව ව්‍යවස්ථාවෙන් ඒ අයිතිය තියෙනවා. මේක ජාතික සංහිඳියාවට දුන්න ප්‍රබල අභියෝගයක්. මේ තුළ කොහොමද අලුතින් එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභාවලට බලතල දුන්නොත්...වෙන් වී යෑමේ ඉඩකඩ දැන්ම පෙන්නනවා." යනුවෙන්ද සඳහන් කළා.
වවුනියාව ඉරට්ටපෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ ඉකුත්දා පැවැති උත්සවයකදී උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් ජාතික ධජය එසවීම ප්‍රතික්ෂේප කළා.
ඔහු කියා සිටියේ ජාතික ධජයේ නිරූපිත සිංහයාගෙන් සිංහල ජාතියේ වීරත්වයත් සෙසු බොහෝ සංකේතවලින් බුදු දහමත් පිළිඹිබු වන බැවින් මෙය ජාතික ධජයක් නොව සිංහල බෞද්ධ ධජයක් පමණක් බවයි.