Wednesday, May 15, 2024

General line - 0115112241

බත්තරමුල්ලේ සුඛෝපභෝගී නිවසකින් හමුවු ආයුධ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පුද්ගලයා රිමාන්ඩ් (UPDATE)

අයිරංගි එදිරිසිංහ




ජීව අත් බෝම්බයක් සහ උණ්ඩ තොගයක් සමග ගජමුතු දෙකක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ලබන 29 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තබන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රත් හේමපාල ඒකනායක අද (21) නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ තලංගම උතුර - කොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඉඩම්ගොඩගේ අමර කුමාර පෙරේරා නමැති 57 හැවිරිදි පුද්ගලයෙක්.

පීඩාකාරී ආයුධ පනත යටතේ මෙම නඩුව පවරා තිබෙනවා.

තම සේවාදායකයාගේ නිවසේ ඔහුගේ සොහොයුරා පරිහරණය කළ කාමරයේ තිබු ඔහුට අයත් අල්මාරියක් තුල මෙම තහනම් උපකරණ තැන්පත් කර තිබූ  බව වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් තම සේවාදායකයා නොදැන සිටි බැවින් ඔහුට ඇප ලබා දෙන ලෙසයි සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා  අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

කෙසේ වෙත්ත පීඩාකාරී ආයුධ පනත යටතේ ගොනුකළ නඩුවක් සම්බන්ධයෙන් සහ  බෝම්බයක් සන්තකයේ තබාගෙන සිටීම යන චෝදනාවන්ට ඇප ලබා දීමට මෙම අධිකරණයට බලයක් නොමැති බව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා කියා සිටියා.

මේ සම්බන්ධයෙන් මුලික සාක්ෂි ලබන 29 වෙනි දින යළි අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද වැඩ බලන මහේස්ත්‍රාත් හේමපාල ඒකනායක පොලිසියට නියෝග කළා.

-----------------------------

ජනපති එන්න පෙර පරික්ෂා කරන විට 'බත්තරමුල්ලේ සුඛෝපභෝගී නිවසකින්' ආයුධ හමුවේ (21-11-2017 14:52)

බෝම්බ, ජීව උණ්ඩ තොගයක් සහ ගජමුතු සමග පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (20) බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වන උත්සවයක් බත්තරමුල්ල, කොස්වත්ත ප්‍රදේශයේදී ඊයේ පැවති අතර එම අවස්ථාවට පෙර වටපිටාව සෝදිසි කිරීමේදී මෙම ආයුධ තොගය පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තාවන්නේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සුඛෝපභෝගී නිවසක් පරීක්ෂා කිරීමේදී එහි අල්මාරියක් තුළ සඟවා තිබූ ජීව අත් බෝම්බයක්, බෝර 16 ගිණි අවි සඳහා භාවිතා කරන ජීව උණ්ඩ 4ක්, එම වර්ගයේම අජිවී උණ්ඩ 16ක් සමග ජපානයේ නිෂ්පාදිත සෙල්ලම් රිවෝල්වරයක් සහ ගජමුතු දෙකක්, විදේශ ගමන් බලපත්‍ර 4ක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

තලංගම - උතුර කොස්වත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් 57 සහ 49 වියේ පසුවන්නන් වනවා. 

මෙම ආයුධ තොගය සහ විදෙස් ගමන් බලපත්‍ර ඇතුළු අපරාධයන් සඳහා යොදා ගන්නා උපාංග මෙලෙස රැස්කර සඟවා තබා ගත්තේ කුමණ හේතුවකටද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. 

මේ සම්බන්ධ වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා තලංගම පොලිසිය වෙත සැකකරුවන් සහ දේපළ භාරදී ඇති අතර සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.