Wednesday, May 15, 2024

General line - 0115112241

"මේක තමයි යහපාලනය ලැබූ ජයග්‍රහණය" ජනපති කොමිසමට ගිය අගමැති ගැන සන්ධාන මහලේකම් කියයි

ඉෂාර සුපෙම් මානගේ




බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හෙලිදරව් වන කරුණු පිළිබඳව ඊයේ (21) පැවැති උත්සවයකදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර සිය අදහස් පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ "මම තමයි මේ බැදුම්කර වංචාව ගැන මුළින්ම 2015 මාර්තු මාසයේ දී අල්ලස් හා දුෂණ කොමිසමට පැමිණිළි කළේ.. අද නම් අයිතිකාරයෝ ගොඩක් ඉන්නවා. ඒ කොහොම වුනත් මේ වංචාව ගැන හොයන්න අපේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බළගතු කොමිසමක් පත් කළා. අද ඒ කොමිසම හරහා තොරතුරු රැසක්  හෙළිදරව් වී තිබෙනවා. මහජන දේපළ කවුරු වුනත් හොරකම් කරනවා නම් ඒ අයට දඩුවම් දිය යුතුයි. ඒක තමයි මේ කොමිසම හරහා හෙළිදරව් වෙන්නේ." යනුවෙනි.

මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කොමිසමට ගිහින් කටඋත්තර දීම පිළිබඳවද අමාත්‍යවරයා අදහස් පළ කළා.

"අගමැතිවරයෙක් මෙවැනි කොමිසමක් ඉදිරියට ගොස් කරුණු ඉදිරිපත් කිරීමක් සිදු වුනේ පළමු වතාවටයි. ඒක හොඳ දෙයක්. තමන් නිර්දෝෂි නම් ඕනෑම තැනකට ගොස් කරුණු ඉදිරිපත් කරන්නට හෝ පෙනී සිටින්නට බිය විය යුතු නැහැ. මේක තමයි අපේ යහපාලනය ලැබු ජයග්‍රහණය. යහපාලන ආණ්ඩුවක් තිබු හින්ද තමයි අගමැතිවරයෙක් කොමිසමකට ගොස් කරුණු ඉදිරිපත් කළේ." යනුවෙන් එහිදී සඳහන් කළා.

අර්ජුන් ඇලෝසියස් අමාත්‍යවරුන්ට දුරකතන ඇමතුම් ලබාදීම සම්බන්ධයෙන්ද මහින්ද අමරවීර මෙහිදී අදහස් පළ කළා. ඒ අනුව ඇමතුම් ලබා දීමට වඩා සොයා බැලිය යුත්තේ කතා කළේ කුමක්ද යන්න පිළිබඳව බවයි පවසා සිටියේ.

ආණ්ඩුව මන්ත්‍රිවරුන්ගේ දුරකථන 'ටැප්' කරන්නේ නැති බවත් එය බොරුවක් මෙන්ම වරදවා වටහාගැනීමක් බවත් සඳහන් කෙරුණා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ එවැනි පහත් දේවල් සිදු නොවන අතර එතුමා ළඟ සිල්ලර දේශපාලන වැඩ නැති බවයි අමාත්‍යවරයා පැහැදිළි කළේ.

"පහුගිය රජය කාලයේ සිදු වූ වංචා දුෂණ විමර්ශනයට කතා කළාම සමහර හිටපු ඇමැතිවරුන්ට නයා ගැහැව්වා. පුංචි අම්මා මැරුණා කියළා ආවේ නැහැ... හැමෝටම මතක ඇති නේ.. ගම්වල කතාවක් තියෙනවා 'අබ කාපු එකාගේ මොළේ දනවා' කියලා. ඒ හින්ද හොරකම් කරපු අය තමන්ගේ හෘද සාක්ෂියට එකඟව මුහුණ දෙන්න බැරි නිසා ඉදිරිපත් වෙන්නෑ.." යනුවෙන්ද සඳහන් කළා.