Sunday, May 5, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු වූ බිහිසුණුම ගුවන් අනතුරු සිදු වුණේ අදවන් දවසකයි (PHOTOS)

රංජිත් රාජපක්ෂ




ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවු බිහිසුණුම ගුවන් අනතුර සිදුවී අදට (04) වසර 43 සපිරෙනවා.

1974.12.04 වන දින මක්කම බලා පියාසර කරමින් තිබූ ඕලන්ද රාජ්‍යට අයත් මාර්ටින් එයාර් ඩි.සි 8 ගුවන්යානය ඉන්දුනීසියාවේ සුරවෙයාර් ගුවන්  තොටුපලින් වන්දනාකරුවන් එකසිය අසුදෙකක් හා කාර්යය මණ්ඩලයේ නවදෙනෙකු රැගෙන පියාසර කරමින් තිබුණා.

මෙම ගුවන්යානය ආගරපතන, නෝර්වුඩ් කාසල්රි ජලාශයට ඉහළින් පියාසර කරමින් තිබියදී එදින රාත්‍රී 10.10ට පමණ නෝර්ටන් බ්‍රිජ් පොලිස් වසමට අයත් ටෙබර්ටන් වතුයායට ඉහළින් පිහිටි සප්ත කන්‍යා කඳුවැටියේ හැපී එම ගුවන්යානයේ සිටි 191 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබුණා.

කඳු පාමුල සිරුරු කිහිපයකුත් සප්ත කන්‍යා කන්ඳ මුදුනේ තවත් සිරුරු කිහිපයකුත් වැටි තිබී පසුව සොයාගෙන තිබුණා. ඉන් සිරුරු 190 ක් සප්ත කන්‍යා කන්ද පාමුල මිහිදන්කර ඇති අතර, එම ගුවන්යානයේ ගුවන්සේවිකාවකගේ සිරුර පමණක් ඇගේ පෙම්වතා ඉන්දුනීසියාවේ සිට හෙලිකොප්ටර් යානයකින් මෙරටට පැමිණ ඉන්දුනීසියාවට රැගෙන ගිය බවයි පැවසෙන්නේ.

එම ගුවන්යානයේ තිබු අමතර කොටස් කුඩා කැබලිවලට කැඩී වැටි තිබූ බවත් එම ගුවන්යානයේ තිබී වැටී තිබූ විශාල මුදල් තොගයක් ප්‍රදේශ වාසීන් විසින් අහුලා ගත් බවත් කියැවෙනවා.

මෙම ගුවන්අනතුර දැකබලා ගැනීමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල පිරිසක් එදා පැමිණි බවයි වාර්තාවන්නේ.

එම ගුවන්යානයේ ගමන් කළ කාර්ය මණ්ඩලයේ නවදෙනාගේ නම සඳහන් සිහිවටනයක් නෝර්ටන්බ්‍රිජ්  පොලිසිය ඉදිරිපිට දැනට සිහිවටනයක් ලෙස තබා ඇති අතර අනතුරට පත් ගුවන්යානයේ ඉදිරිපස රෝදය අසල එය තැන්පත්කර තිබෙනවා.

මෙම ගුවන් අනතුරෙන් මියගිය අය මිහිදන්කර ඇති ස්ථානය අසල එම ගුවන්යානයේ ලාංජනය සවිකර තිබුණද කිසියම් පිරිසක් විසින් එම සිහිවටනය මේ වන විට  ගලවාගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු පෙන්වා දෙන්නේ.

මෙම ගුවන්අනතුර ගුවන්යානයේ සිදුවු තාක්ෂණ දෝෂයක් හේතුවෙන් සිදුවූවක් බවයි මේ පිළිබදව පරික්ෂණ පැවැත්වු පරික්ෂණ කණ්ඩායම් විසින් වාර්තාවක් මගින් ඉදිරිපත්කර ඇත්තේ.