Friday, May 3, 2024

General line - 0115112241

කසල කන්ද අසල වැතිරී සිටින 06 වැනියා (PHOTOS)

වසන්ත චන්ද්‍රපාල




අම්පාර, දීඝවාපිය ප‍්‍රදේශයේ කසල කන්ද අසල නැගිටගත නොහැකිව වැතිරී සිටින වනඅලියාට ප‍්‍රතිකාර ලබාදීම ආරම්භ කර තිබෙනවා.

nethnews.lk අම්පාර වාර්තාකරු පවසන්නේ ප‍්‍රාදේශවාසින් කළ දැනුම්දීමක් අනුව එහි පැමිණි පශු වෛද්‍යවරුන් වනඅලියාට ප‍්‍රතිකාර ලබාදෙන බවයි. 

මෙම වනඅලියාට බාහිර තුවාල සිදුව නැතැයිද කසල ආහාරයට ගැනීමෙන් ඇති වූ ආසාදනයක් නිසා වනඅලියා රෝගී වී ඇතැයිද පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර කියාසිටියා. ප‍්‍රතිකාර ලබාදීමෙන් මෙම වනඅලියාගේ ජීවිතය බේරා ගැනීමට හැකිවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. 

අම්පාර, දීඝවාපිය ප‍්‍රදේශයේ කසල කන්ද අසල දී වනඅලීන් පස් දෙනෙකු මීට පෙර මියගියා.

කල්මුණේ, සමන්තුරේ, නින්දවූර් සහ අඞ්ඩාලච්චේන යන ප‍්‍රදේශවලින් පළාත් පාලන ආයතන විසින් එකතු කරන කැලිකසල බැහැර කෙරෙන්නේ මෙම ස්ථානයටයි. වනඅලීන් ඇතුළුවීම වැළැක්වීම සඳහා ඒ වටා විදුලිවැටක්ද ඉදිකර තිබෙනවා. එහෙත් නිසි නඩත්තුවක් නොමැතිවීම නිසා විදුලි වැට මේ වනවිට අකී‍්‍රය වී තිබෙන බවයි නෙත් නිවුස් කළ නිරීක්‍ෂණයේදී පෙනී ගියේ. වනඅලීන් කසල ආහාරයට ගැනීම සඳහා එහි පැමිණෙන්නේද ඒ අනුවයි. 

මෙම විදුලිවැට පිළිසකර කරන්නැයි අඞ්ඩාලච්චේන ප‍්‍රාදේශීය සභාවට අවස්ථා කිහිපයකදි දැනුම් දී ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුව පැවසුවා. එහෙත් විදුලිවැටෙහි කිසිදු පිලිසකර කිරීමක් තවමත් ආරම්භ වී නොමැති බවයි nethnews.lk අම්පාර වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.