Saturday, October 19, 2024

General line - 0115112241

ජනපතිට හය අවුරුද්දක් දෙන්නැයි දූෂණ විරෝධීන් උසාවි යයි




සිය ධූර කාලය වසර 5 ක්ද නැතහොත් වසර 6ක් දැයි ජනාධිපතිවරයා කළ මත විමසීම සඳහා මැදිහත්වීමට අවසර ලබා දෙන්නැයි දූෂණ විරෝධී සංවිධානයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද ඉල්ලීමක් කළා. උන්වහන්සේ ගොනු කළ පෙත්සමේ දැක්වෙන්නේ ජනාධිපතිවරයාට 2015දී ජනවරමක් ලැබුනේ වසර 6ක ධූර කාලයක් සඳහා බවයි. ඒ අනුව වසර 2021 දක්වා සිය ධූරය දැරීමට ජනාධිපතිවරයාට කිසිඳු නෛතික බාධාවක් නැතැයිද උන්වහන්සේ පෙන්වා දී තිබෙනවා. 

මේ අතර ජනාධිපතිවරයා විසින් කරන ලද මත විමසීම ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක් හමුවේ හෙට සලකා බැලීමට නියමිතයි. අගවිනිසුරු පි‍්‍රයසාද් ඩෙප්ගේ සභාපතිත්වයෙන් මෙම පංච පුද්ගල විනිසුරු මණ්ඩලය පත් කර තිබෙනවා. කරුණු සලකා බැලීමෙන් පසු අවසන්  මතය ලබන 14වනදාට පෙර දැනුම් දෙන ලෙසයි ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.

ජනාධිපතිවරයා බලයට පත්වන විට බලාත්මකව පැවැති 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මුල් විධිවිධාන වලට අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 6ක් වනවා. එහෙත් පසුව සම්මත කෙරුනු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයට අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 ක් දක්වා අඩු කෙරුනා.