Saturday, October 19, 2024

General line - 0115112241

ජනපති වැඩ භාර ගත්තේ අවුරුදු 06කටයි - නීතිපති කියයි (UPDATE)

අධිකරණ වාර්තාකරු




19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනාධිපතිවරයා 2015 ජනවාරි 9 වැනිදා අවුරුදු 6 ට ජනාධිපති ධූරයේ වැඩ භාර ගෙන ඇති බැවින් 19 ව්‍යවස්ථා සංශෝධනයේ අවුරුදු පහකට ජනාධිපති ධූර කාලය සීමා කිරීම බලනොපාන බව නීතිපතිවරයා පවසා තිබෙනවා.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අතීතයට බලපාන නීතියක් නොවන බවයි මෙහිදී නීතිපතිවරයා සඳහන් කර ඇත්තේ. 

-------------------------------------

ජනපති ඉල්ලූ පිළිතුර සළකා බැලීම අරඹයි

(11-01-2018 11:50)

තමාට වසර හයක කාලයක් ජනාධිපතිධූරයේ කටයුතු කිරිමට ව්‍යවස්ථාමය බාධාවක් පවතී ද යන්න පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කර ඇති මත විමසීම අද (11) පෙරවරු 11.00 ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලීම ආරම්භ වුණා.

ජනාධිපතිවරයාගේ විමසීම සම්බන්ධයෙන් නීතිපති ජයන්ත ජයසූරිය මේ මොහොතේ කරුණු දැක්වීම් ආරම්භ කළ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

ජනාධිපතිවරයාගේ විමසීමට පක්ෂව සහ විපක්ෂව කරුණු දැක්වීමට මැදිහත්කාර පාර්ශ්වයන් රැසක් අධිකරණයට පැමිණ සිටියා.

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, විනිසුරු ඊවා වනසුන්දර , විනිසුරු බුවනෙක අලුවිහාරේ , විනිසුරු සිසිර ද ආබෲ සහ විනිසුරු කේ.ටි. චිත්‍රසිරි යන පිරිසගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ජනාධිපතිවරයාගේ යොමු කිරීම සලකා බැලීම සිදු කෙරෙනවා.

--------------------------------

ජනපති ඉල්ලූ පිළිතුර අද සළකා බැලෙන හැටි

(11-01-2018 06:11)

ඩිල්ෂාන් මඩවල

 

සිය ධුර කාලය සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කරන ලද මත විමසීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (11) සළකා බැලෙනවා.

ඒ, අගවිනිසුරු පි‍්‍රයසාද් ඩෙප් ප‍්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක් හමුවේයි. ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ, කේ. ටී. චිත‍්‍රසිරි සහ සිසිර ද ආබෲ මෙහි සෙසු විනිසුරුවරුන් වනවා. 

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරමින් දූෂණ විරෝධි සංවිධානයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඊයේ (10) ඉල්ලා සිටියේ ජනාධිපතිවරයෙක් කරන ලද  මෙම මත විමසීම සඳහා මැදිහත් වීමට තමන් වහන්සේටද අවසර ලබා දෙන ලෙසයි. 

මෙම මත විමසීමට අදාළව කිසියම් කරුණු දැක්වීමක් ඇත්නම් අද දින ඉදිරිපත් කරන ලෙස ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය සිය සාමාජිකයන්ට ද දැනුම් දි තිබෙනවා.

ඒ අනුව, ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ  ඕනෑම සාමාජිකයෙකුට ද මෙම මත විමසීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද කරුණු දැක්විය හැකි බවයි එහි සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා පැවසුවේ.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉකුත් 2015 වසරේ එම ධුරය භාර ගන්නා විට බලාත්මකව පැවැති 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මුල් විධිවිධානවලට අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 6ක් වනවා.

එහෙත් පසුව සම්මත කෙරුනු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයට අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 ක් දක්වා අඩු කෙරුණා.

මේ අනුව, සිය ධුර කාලය 2021 දක්වා පවතින්නේ ද යන්නයි ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා ඇත්තේ. ඒ පිළිබඳ මතය ලබන 14 වැනිදාට පෙර ප‍්‍රකාශ කරන ලෙසද ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.