Saturday, October 19, 2024

General line - 0115112241

ලංකාවට හොඳම පොහොර නොගන්න හේතුව මෙන්න

සජිත් තිලකරත්න




වී වගාව සඳහා පැවති පොහොර හිඟය මේ වනවිට මගහැරී ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා.

ඉකුත් දා පාකිස්ථානයෙන් ආනයනය කෙරුණු මෙටි‍්‍රක් ටොන් 48,000ක පොහොර තොගය මේ වන විට රට පුරා  බෙදා හැරෙන බවයි එහි අධ්‍යක්ෂ අජිත් පුෂ්පකුමාර පැවසුවේ. මීට පෙර පොහොර මෙටි‍්‍රක් ටොන් 12,000ක් රට පුරා බෙදා හැරුණු බවද ඔහු කියා සිටියා. 

කිලෝ ග‍්‍රෑම් 50 යූරියා පොහොර මිටියක සත්‍ය මිල රුපියල් 3450 කට ආසන්නයි. එහෙත් එම පොහොර මිටියක් රුපියල් 2500කට මිලදී ගැනීමට ගොවීන්ට හැකි වන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර පොහොර හිඟයක් ඇතිවූයේ ඇස්තමේන්තුගත ප්‍රමාණයට වඩා වැඩි කුඹුරු ප‍්‍රමාණයක් මෙවර කන්නයේදී වගා කිරීම නිසා බවයි ජාතික පොහොර ලේකම් කාර්යාලය වැඩිදුරටත් කියා සිටියේ.

ප‍්‍රමාණවත් ලෙස වැසි නොලැබිම නිසා වගා කරන කුඹුරු ප‍්‍රමාණය අඩු වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබුනු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුනා. ලෝක වෙළඳපොලේ මිල ඉහළ යාමද පැවැති පොහොර හිඟයට තවත් හේතුවක් වූ බවයි ජාතික පොහොර ලේකම් කාර්යාලය පැවසුවේ.

ලෝකයේ හොඳම යූරියා පොහොර නිෂ්පාදනය කරන්නේ ඉරානය බවටයි පිළිගත් මතය වන්නේ. එහෙත් ශ‍්‍රී ලංකාවට පොහොර වැඩිපුරම ආනයනය කරන්නේ චීනයෙන්. ඊට අමතරව, පාකිස්තානයෙන්. ඒ අනුව සාමාන්‍යයෙන් ශ‍්‍රී ලංකාවට ආනයනය කරන්නේ හොඳම පොහොර නොවන බවයි පැවසෙන්නේ.

චීනයේ හෝ පාකිස්තානයේ නිෂ්පාදිත යුරියා පොහොර යෙදීමේදී අක්කරයකට පොහොර කිලෝ ග‍්‍රෑම් 30 ක් පමණ අවශ්‍ය වනවා. එහෙත් ඉරානයේ නිෂ්පාදිත යූරියා පොහොර යොදන්නේ නම් අක්කරයකට අවශ්‍ය වන්නේ පොහොර කිලෝ ග‍්‍රෑම් 20ක් පමණයි. 

මෙසේ තිබියදීත් ඉරානයෙන් පොහොර ආනයනය නොකරන්නේ මන්දැයි නෙත් නිවුස් ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් විමසීමක් කළා. ඔවුන් පැවසුවේ ඉරානයට එරෙහි පවතින සම්බාධක නිසා එරටින් පොහොර ආනයනය කළ නොහැකි බවයි. 

ශ‍්‍රී ලංකාවේ වී ගොවිතැන සඳහා වාර්ෂිකව පොහොර මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂ 78,000ක් පමණ අවශ්‍ය වන අතර එහිදී වර්ග 3කින් පොහොර යෙදිය යුතුයි. ඒ, යූරියා, TSP හෙවත් මඩ පොහොර සහ MOP හෙවත් බණ්ඩි පොහොර වශයෙන්.

යූරියා පොහොර පමණක් මෙටි‍්‍රක් ටොන් එක් ලක්ෂ 58,000ක් අවශ්‍යයි. මඩ පොහොර අවශ්‍යතාව මෙටි‍්‍රක් ටොන් 55,000ක් ද බණ්ඩි පොහොර අවශ්‍යතාව මෙටි‍්‍රක් ටොන් 65,000ක් ද වනවා.