Saturday, October 19, 2024

General line - 0115112241

ලක්ෂ 60ක් වටින භයානක මත් ද්‍රව්‍යක් ගුවනින් කටුනායකට

ටී කේ ජී කපිල - කටුනායක




යුරෝපා රටවල භාවිතා කරන " මෙතැම්පටමයින් " නැමති භයානක මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු ඊයේ (11) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කුඩා වෙළඳ සැලක් පවත්වාගෙන යන 50 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු රාත්‍රී 9.45 ට පමණ ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. -124 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම මත්ද්‍රව්‍ය ග්‍රෑම් 220 ක ප්‍රමාණයක් සගවා ගෙන තිබූ අතර , ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 60 ක් පමණ වන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසුවා.

මෙම මෙතැම්පටමයින් කුඩා කැබලි (Crystal Type ) ලෙස තිබූ ඒවා බවත් , ඒවා කොළඹ ඇතුළු නගර වල ප්‍රධාන පෙළේ රාත්‍රී සමාජ ශාලා වල භාවිතය පිණිස රැගෙන එන්නට ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සැක පහළ කරනවා.

සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (12) ඉදිරිපත් කර , රැදවුම් නියෝග ලබා ගෙන , මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කටයුතු කරමින් සිටිනවා.