යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය පරාජය කරමින් පෙරලිකාර ජයක් ලැබූ ඇෆ්ගනිස්ථාන යොවුන් කණ්ඩායම අයර්ලන්තය හමුවේ අද (20) පරාජයට පත් වුණා.
ඒ, ලකුණු 4කින්.
ඩී කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 8ක් දැවී ලකුණු 225ක් රැස් කළා. එම ඉලක්කය හඹා ගිය ඇෆ්ගනිස්ථාන යොවුන් පිලට පන්දුවාර 49 යි පන්දු දෙකක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 221ක් පමණයි.
මෙම තරගය පරාජයට පත් වුවද මූලික වටයේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය පරාජය කිරීම හේතුවෙන් ඇෆ්ගනිස්ථාන යොවුන් පිල මේ වනවිට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා අවසන්. ශ්‍රී ලංකා යොවුන් පිලට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට අසමත් වූ අතර ඩී කාණ්ඩයෙන් ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. නවසීලන්තයේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සුදුසුකම් ලැබූ සෙසු කණ්ඩායම් වන්නේ එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ බංග්ලාදේශයයි.
යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක් වූ ආසියානු රටවල් අතරින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නොහැකි වුයේ ශ්‍රී ලංකා යොවුන් පිලට පමණක් වීමද විශේෂත්වයක්.