Saturday, January 11, 2025

General line - 0115112241

'අගමැතිකම එපා' - මහින්ද බලාපොරොත්තු වන දේ මෙන්න

කසුන් කැලුම්




අගමැති ධූරය සම්බන්ධයෙන් තමන් වෙත කෙරෙන ප්‍රකාශ පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වනවා.

ඒ අනුව අගමැති ධුරය ලබා ගන්නා ලෙස යෝජනා කළහොත් තමන් එය භාර නොගන්නා බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ. 

ඒ වෙනුවට පාර්ලිමේන්තුව විසිරුවාහැර මහමැතිවරණයක් කැඳවන ලෙසයි ඔහු ඉල්ලීමක් කරන්නේ. 

එහිදී "රට තුළ දැන් බොහොම අස්ථාවර භාවයක් තමයි තියෙන්නේ.. ඒ නිසා මහමැතිවරණයක් අපි ඉල්ලනවා. මොකද රට යළි ස්ථාවර කිරීමට ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍ය වෙනවා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාවෙන් දැන්ම විසුරුවන්න බැරි එක. ජනාධිපතිවරයාට දැන්ම ඒක කරන්න බෑ. ඒකත් විසඳන්න පුළුවන් එකතු වුණොත්.. එකතු වෙලා ප්‍රශ්න විසඳලා.. ජනතාවගේ ජීවිත ඉදිරියට ගෙනියන්න ඕනේ."

2015 ජනාධිපතිවරණයට වඩා මහින්ද රාජපක්ෂ මහතා සහය දැක්වූ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර ලබාගත් ඡන්ද ප‍්‍රතිශතය අඩු බවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා කළ ප‍්‍රකාශයටද හිටපු ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රතිචාර දැක්වුවා.

"රාජිතට හීනෙන් පේන ඒවා තමයි කියවන්නේ..නමුත් රටේ ජනතාවට පැහැදිළිවම පේනවානේ තත්ත්වේ මොකක්ද කියලා."

මෙවර පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී පළාත් පාලන ආයතන 340ක් අතුරින් පලාත් පාලන ආයතන 239ක බලය දිනා ගැනීමයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ආයතන 42ක බලය හිමි කර ගත්තා. මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමිවූයේ පළාත් පාලන ආයතන 07ක පමණයි. ඉලංකෙයි තමිල් අරසු පක්ෂය පළාත් පාලන ආයතන 27ක බලය හිමි කර ගත්තා. ලංකා කම්කරු කොංග‍්‍රසය පළාත් පාලන ආයතන 12ක බලය හිමිකර ගත් අතර මුස්ලිම් කොංග‍්‍රසය පළාත් පාලන ආයතන 03ක් ජය ගත්තා.