Tuesday, September 17, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව විසුරුවන ක්‍රමය නීතිවේදීන් පෙන්වයි

ඩිල්ෂාන් මඩවල




ඇතිවී තිබෙන දේශපාලන ව්‍යාකූලත්වය සමනය කර ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැර කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි ඉදිරිපත් වන යෝජනාව සම්බන්ධයෙන්ද නෙත් නිවුස් විමසීමක් කළා.

ඊට පිලිතුරු දුන් කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මේනක හරන්කහ සඳහන් කළේ "19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව පැවැති තනි අනන්‍ය බලය අහෝසි කරලා තියෙනවා. ඒ අනුව වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළදී පාර්ලිමේනතුවක් විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට පුළුවන් කමක් තියෙන්නේ පාර්ලිමේන්තුව දිවුරුම් දීලා වසර හතරහමාරකුත් මාස 06ක් ඉක්මවූ පසුව එළඹෙන පළමු අවස්ථාවේදී පමණයි." යනුවෙනි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව විසින් තුනෙන් දෙකක බහුතරයක් සහිතව යෝජනාවක් සම්මත කළ හොත් මෙම අවස්ථාවේදී වුවද පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැර කඩිනමින් මහමැතිරවණයක් පැවැත්වීමට ඉදිරිපත් වී තිබෙන යෝජනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් දේශපාලන නියෝජිතයින්ගෙන් ද විමසීමක් කළා. ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය චන්දිම වීරක්කොඩි පැවසුවේ නියමිත දිනට පෙර පාර්ලිමේන්තුව එලෙස විසුරුවා හැරීම ප‍්‍රායෝගිකව කළ නොහැක්කක් බවයි. 

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍ය දයා ගමගේ පැවසුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කිසිඳු අවශ්‍යතාවක් මේවනවිට නොමැති බවයි. 

මේ අතර ඔළු ගෙඩි මාරුවකින් බලය ලබා ගැනීමට කටයුතු නොකරන බවද මහ මැතිවරණයකින් බලය ලබා ගැනීමට අදහස් කරන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (12) කියා සිටියා.