Thursday, September 19, 2024

General line - 0115112241

පැරදෙන ලංකාවට ජවය දෙන්න හැදූ ‘වාස්ට’ ටීම් එකෙන්ම ආපු කැපිල්ල මෙන්න



ශ්‍රී ලංකා කණ්‌ඩායමේ වේග පන්දු පුහුණුකරුවා ලෙස චමින්ද වාස්‌ව පත්කර ගැනීමට කණ්‌ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙතුන් දෙනකු මැළි කමක්‌ දැක්‌වීම හේතුවෙන් මේ වන තෙක්‌ අදාළ තනතුර වෙනුවෙන් චමින්ද වාස්‌ සමග ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය කිසිදු සාකච්ඡාවක්‌ සිදු කර නොමැති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ දක්‍ෂතා ඉහළ දැමීමේ කළමණාකරුවා වන එංගලන්ත ජාතික සිමන්ස්‌ මහතා වාස්‌ සමග සාකච්ඡාවක්‌ පවත්වා ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය දැනුවත් කර තිබුණද වාස්‌ව පත්කර ගැනීමට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙතුන් දෙනකුගේ අදහස්‌ විමසීම හේතුවෙන් අදාළ පත්කර ගැනීම පමා වී ඇති බවයි එම වාර්තා මගින් පෙන්වා දී ඇත්තේ.

මීට පෙරද වාස්‌ වේග පන්දු පුහුණුකරුවා ලෙස කටයුතු කරන කාලයේදී සිටි නම් දැරූ පන්දු යවන්නකු සහ වේග පන්දු යවන තුන් ඉරියව් ප්‍රහාරාත්මක පිතිකරුවකු වාස්‌ සමග බහින් බස්‌වීමක්‌ ඇතිකර ගෙන තිබෙන අතර එයට හේතුව ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව වාස්‌ සපයන ලද වාර්තාව බව පසුව අනාවරණය වුණා.

මේ අනූව විදෙස්‌ පුහුණුකරුවකු ගෙන්වා ගැනීමට අදාළ බලධාරීන්ගේ අවධානය යොමුකර ගැනීමට වාස්‌ට එරෙහිව අදාළ චෝදනාව ඉදිරිපත්කර ඇතැයි සඳහන් වනවා.

ඉදිරි සතියේදී ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරුවා පිළිබඳව ස්‌ථිර විසඳුමක්‌ ගනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා නෙත් නිවුස් වෙත පසුගිය දා සඳහන් කර තිබුණේ වාස් සම්බන්ධයෙන් සාකච්ඡා කර නොමැති බවයි.