‘වෙන්වීලා ගියදා පටන් ඔබ මාව
ආයේ නොඑනා ලෙසින්
කඳුළු අඩු නැතිව විඳිනවා තවම
ඔබට සතුටුයිද දැන්
ඔබට සතුටුයිද දැන්’
රුවන් හෙට්ටිආරච්චි ගායන ශිල්පියා විසින් ගයන ලද මේ ගීතය මේ වන විට දේශපාලන වේදිකාවේ වඩාත් ජනප්‍රිය වී තිබෙනවා.
මහින්ද රාජපක්ෂ මහතා ද පසුගිය දිනක මාධ්‍යවේදීන්ගෙන් අසා සිටියේ “ඔබට සතුටුයිද දැන්” යනුවෙනුයි.
“ඔබට සතුටුයිද දැන්” ගීතය දේශපාලනයේ ජනප්‍රිය ගීතයක් බවට පත්වීම සම්බන්ධයෙන් රුවන් හෙට්ටිආරච්චි ගායන ශිල්පියා සති අන්ත පුවත්පතකට සිය අදහස් දක්වා තිබෙනවා.
ඔහු එහිදී සඳහන් කර ඇත්තේ තමන්ට සතුටක් මෙන්ම බියක් දැනෙන බවයි.රුවන් එහිදී දැක්වූ අදහස් පහතින් දැක්වෙනවා.
“ඔබට සතුටුයිද දැන්” ගීතය ඔබටත් වඩා දැන් කියන්නේ දේශපාලනඥයන් නේද?
මුලදී මේ ගීතය ගයද්දී මමවත් හිතුවේ නැහැ මේ තරම් ආන්දෝලනයට ලක්වෙයි කියලා. මේ ගීතය ගැයීමත් අහඹු සිදුවීමක්. මේ ආන්දෝලනයත් ඒ වගේම අහඹු සිදුවීමක්.
ගීතය ගැයීමත් අහඹු සිද්ධියක් වුණේ කොහොමද?
මම වෙනත් ගීතයක් නිර්මාණය කරගන්න චමත් අසංග ළඟට ගියා. ඒ වෙලාවේ සජිත් චතුරංග ලියලා චමත් අසංක කරපු ගීතයක් තිබුණා. නිකමට වගේ ඒ ගීතය ගායනා කරලා බැලුවාම මට හිතුනා මම කලින් ගායනා කළ ගීතවලට වඩා වෙනසක් මේ ගීතයේ තියෙනවා කියලා. ඊට පස්සේ ඒ ගීතය ගයන්න තීරණය කළා. ඒ ගීතය තමයි “ඔබට සතුටුයිද දැන්” ගීතය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ ආණ්ඩුව ගැන ප්‍රශ්නයක් ඇහුවාම උත්තර දෙන්නේ ඔබට සතුටුයිද දැන් කියලා. ඒ ගැන රුවන්ට සතුටුද?
සතුටුයි බයයි
සතුටුයි බයයි කිවුවේ?
මගෙ ගීතයක් ලොකු කතා බහකට ලක්වීම ගැන මට ලොකු සතුටක් තියෙනවා. ඒත් දේශපාලනඥයන් එය යොදා ගැනීම ගැන නම් බයක් තමයි මගේ හිතේ තියෙන්නේ. සමහරු මේ ගැන විවිධ මත දරනවානේ.
“ඔබට සතුටුයිද දැන්” ගීතය පහතින් නැරඹිය හැකියි.