Wednesday, January 8, 2025

General line - 0115112241

ෆේස්බුක් ඇතුළු සමාජ ජාලාවල සිදු කෙරෙන ජාතිවාදී සහ ආගම්වාදී ප‍්‍රචාර වැළැක්වීමට රජයෙන් විශේෂ වැඩපිළිවෙලක්

හේමන්ත කහවලගේ




ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සිදු කෙරෙන ජාතිවාදී සහ ආගම්වාදී ප‍්‍රචාර වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු පැවසුවේ මේ දිනවල ඒ සම්බන්ධයෙන් දැඩිව අධීක්ෂණය කරන බවයි. ජාතිවාදී සහ ආගම්වාදී ප‍්‍රචාර පතුරුවා හරින පුද්ගලයින් හඳුනා ගැනීම එහි එක් අරමුණක්. එවැනි පුද්ගලයින්ට එරෙහිව පියවර ගැනීමටද හැකි බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අවස්ථාවක සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන ජාතිවාදී සහ ආගම්වාදී ප‍්‍රචාර වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳ නෙත් නිවුස් පොලීසියෙන් විමසීමක් කළා.

එහිදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ "සමාජ මාධ්‍ය ජාලා හෝ වෙනත් සන්නිවේදන ක්‍රම ඔස්සේ අසත්‍ය තොරතුරු, භීතිය, අප්‍රසාදය ඇතිවන ආකාරයට..ඒ වගේම සංහිඳියාවට බාධා එල්ල වන ආකාරයට එවැනි තොරතුරු සම්ප්‍රේෂණය කිරීම වැලැක්වීමට සුදුසු පියවර ගැනීමේ බලය රාජ්‍ය නිලධාරීන්ට වගේම ව්‍යවස්ථාපිත ආයතනවලටත් මේ යටතේ පැවරෙනවා." යනුවෙනි.

මේ අතර වර්තමානයේ පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ රාති‍්‍රයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි දේශපාලන ආරංචි සඳහන් කළේ. ඒ සඳහා හමුදා මාණ්ඩලික ප‍්‍රධානියා හා පොලිස්පතිවරයාද පැමිණි බවද වාර්තා වුණා.