ශ්‍රී ලංකා යුද හමුදාව මගින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවත්වාගෙන යන යුද හමුදාපතිවරයාගේ නිවාඩු නිකේතන හිටපු යුද හමුදාපතිවරයෙකු විසින් අවභාවිත කරන බවට තොරතුරු වාර්තා වනවා.
චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය සමයේ යුද හමුදාපතිධූරය හෙබවූ එම තැනැත්තා සිය පුත්‍රයාද සමග එක්ව හමුදාපති නිවාඩු නිකේතන මගින් මුදල් උපයාගන්නා බවටයි වැඩිදුරටත් වාර්තාවුණේ.
දියතලාව, මහනුවර, අනුරාධපුර, කතරගම, යාපනය සහ අම්පාර යන ප්‍රදේශවල හමුදාපති නිවාඩු නිකේතන පිහිටා තිබෙනවා.
වර්තමාන යුද හමුදාපතිවරයාට ප්‍රමුඛතාව හිමිවන එම නිවාඩු නිකේතනවල සේවා ලබා ගැනීමට හිටපු යුද හමුදාපතිවරුන්ටද අවස්ථාවක් පවතින බවයි යුද හමුදාව පවසන්නේ.
එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් අදාළ හිටපු යුද හමුදාපතිවරයා විදේශීය සංචාරකයන් නිරන්තරයෙන් එම නිවාඩු නිකේතනවලට රැගෙන යන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
එලෙස රැගෙන යන විදේශිකයින්ට ආහාර, නවාතැන් සහ වෙනත් පහසුකම් යුද හමුදාව මගින් ලබා දී ඒ සඳහා එම විදේශිකයන්ගෙන් හිටපු යුද හමුදාපතිවරයා මුදල් අයකර ගන්නා බවද වැඩිදුරටත් වාර්තා වුණා.
පසුගිය මාසයේ ඉන්දීය ජාතිකයින් පිරිසක් දියතලාව යුද හමුදාපති නිවාඩු නිකේතනයේ එලෙස නවාතැන් ගෙන තිබෙනවා. ලබන 13, 14 දිනවල තවත් විදේශිකයින් පිරිසකට අම්පාර යුද හමුදාපති නිවාඩු නිකේතනයේ නවාතැන් ලබා දීමටද මෙම හිටපු යුද හමුදාපතිවරයා කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
වර්තමාන යුද හමුදාපතිවරයා හෝ ආරක්ෂක අංශය දැනුවත් නොකොට ඔහු මෙලෙස ක්‍රියාකරන බවද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.