ඩුබායි හි පොලිස් අත්අඩංගුවේ පසුවන රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග "උදර්පණ නිතිය" යටතේ නුදුරු දිනයකදීම මෙරටට රැගෙන ඒමට කටයුතු කරන බව ජේයෂ්ඨ රජයේ නීතීඥ උදාර කරුණාතිලක විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
මිග් යානා ගනුදෙනුවට අදාල නඩුවේ සැකකරුවෙක් වන රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඩුබායි හිදී පොලිසිය විසින් දෙවන වතාවට අත්අඩංගුවට ගනු ලැබුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් විසින් ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අවලංගු කරමින් නිකුත් කල රතු වරෙන්තුවක් මතයි.
මෙරට අධිකරණයෙන් නිකුත් කර තිබෙන නියෝගයත් සමග උදයංග වීරතුංග හට වෙනත් කිසිදු රටකට යාමට නොහැකි බව මෙහිදී රජයේ නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කර තිබෙනවා.
"උදර්පණ නිතිය " යටතේ අවශ්‍ය අධිකරණ නියෝග ලබා ගැනීමෙන් අනතුරුව තෙවැනි පාර්ශවයක් ලෙස කටයුතු කරමින් උදයංග වීරතුංග ඉතා නුදුරේදීම මෙරටට රැගෙන ඒමට නියමිත වන අතර ඒ සම්බන්ධයෙන් වන සියලුම වැඩකටයුතු සිදුකෙරමින් පවතින බවටද වාර්තා වුනා.