Wednesday, January 8, 2025

General line - 0115112241

හැරී-මේගන් ගේ රාජකීය විවාහය තහනම් අය මෙන්න - රාජකිය දරු උපතකුත් අත ලඟ

දිනුක් හේවාවිතාරණ - විදෙස් පුවත් ඇසුරෙන්




බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු හා ජනතාවගේ කුමරිය ලෙස හැදින්වූ ඩයනා කුමරියගේ බාල පුත්‍රයා වන හැරී කුමරුගේ විවාහය සඳහා තවත් ඇත්තේ දින 40 කට ආසන්න කාලයක් පමණයි.

මැයි මස 19 වැනිදා පැවැත්වීමට නියමිත හැරී කුමරුගේ සහ මේගන් මාර්ක්ලේ ගේ රාජකීය විවාහෝත්සවය සඳහා කිසිදු දේශපාලන නායකයෙක්ට ආරාධනා නොකිරීමට බ්‍රිතාන්‍ය රජ පවුල තීරණය කර ඇති බව කෙන්සිංටන් මාලිගය ඊයේ (10) නිවේදනය කළා. ඒ අනුව වර්තමානයේ බලයේ සිටින ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් පමණක් නොව බ්‍රිතාන්‍ය රජ පවුල සමග ඉතා සමීප සම්බන්ධකමක් පැවැත්වූ හිටපු අමෙරිකා ජනපති බැරක් ඔබාමාට පවා මෙම උත්සවය සඳහා ආරාධනා කර බවයි වාර්තා වන්නේ.

මෙම රාජකීය විවාහ උත්සවයට බ්‍රිතාන්‍යයේ අගමැතිවරිය වන තෙරේසා මේ හට හෝ ආරාධනා කර නැති බවයි වාර්තා වන්නේ. 

මෙම විවහොත්සවය සඳහා ආරාධනා ලැබී ඇත්තේ හැරී කුමරුගේ සහ මේගන් මාර්ක්ලේ ගේ පවුලේ සමිපතමයින්, මිතුරන් සහ බ්‍රිතානයේ සුවිශේෂි පුරවැසියන් සීමිත පිරිසකට පමණක් බවයි කෙන්සිංටන් මාලිගය නිකුත් කල නිවේදනයේ සඳහන් වන්නේ.

හැරී කුමරු ගේ සහ මේගන් මාර්ක්ලේ ගේ විවාහය පැවැත්වීමට තෝරා ගෙන ඇත්තේද වින්ඩෝස්ටර් කාසල් හි ශාන්ත ජෝර්ජ් දේවස්තානයයි. හැරී කුමරුගේ මව්පියන් වන චාල්ස් හා ඩයනා එමෙන්ම වැඩිමහල් සහෝදරයා වන විලියම් සහ කේට් කුමරියගේ විවාහොත්සවයන් පැවැත්වූ සුප්‍රසිද්ධ වෙස්මින්ටිස්ටර් ඇබේ දේවස්ථානය තෝරා නොගැනීමද දැඩි කතා බහට ලක්ව තිබෙන මාතෘකාවක්ව තිබෙනවා. 

මේ අතර විලියම් කුමරුගේ බිරිඳ වන කේට් කුමරිය මේ මස අවසානයේදී  සිය තෙවන දරු ප්‍රසුතිය සඳහා සුදානම් වෙමින් සිටින බවයි කෙන්සිංටන් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. කේට් කුමරියගේ දරු ප්‍රසුතිය වෙනුවෙන් ලන්ඩනයේ සාන්ත මේරි රෝහල සුදානම්ව තබා තිබෙනවා.

කේට් කුමරියගේ තෙවන දරු ප්‍රසුතියෙන් පසු මුල්වරට දරුවාව රෝහලින් පිටතට කැදවාගෙන ගෙන යන සුප්‍රසිද්ධ " ලින්ඩෝ පර්යන්තය" ඉදිරිපිට මාර්යේ වාහන නැවැත්වීම සහ පදික වේදිකාව පවා මේ වන විට මාධ්‍යවේදීන් සඳහා වෙන් කර තිබෙන බව එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. 

මේ අනුව එළඹෙන මැයි මාසය බ්‍රිතාන්‍ය රජ පවුලට ඉතා කාර්යබහුල මාසයක් වනවා නොඅනුමානයි.