Wednesday, January 8, 2025

General line - 0115112241

ඉන්දිය අගමැති උපවාසයක් අරඹන්න හේතුව හෙළිවේ

වසන්ත පිවිතුරු - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හෙට (12) ඉන්දීය පාර්ලිමේන්තුව වර්ජනය කරමින් උපවාසයක නිරත වීමට නියමිත බව ඉන්දිය වාර්තා පවසනවා.  අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමෙන් පසුව එය විවාදයට ගැනීම අවස්ථා දෙකක දී කල් ගොස් තිබෙනවා. ඊට හේතුව විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු විවිධ ප්‍රශ්න මතුකරමින් සභාවේ කටයුතුවලට බාධා කිරිමයි.

අයවැය ඉදිරිපත් කිරිමෙන් පසු එය විවාදයට ගැනීමේ දී ඊට විපක්ෂයේ මන්ත්‍රීවරුන් බාධා කළේ පන්ජාබ් නැෂනල් බැංකුවේ සිදුවු බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න නඟමින්.

ආන්ද්‍රා ප්‍රාන්තය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඝෝෂා කරනු ලැබුවේ තමන්ගේ ප්‍රාන්තයට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ඉල්ලමින්. එමෙන්ම තෙළංගනා ප්‍රාන්තයේ මන්ත්‍රීවරුන් විරෝධතාවයක නිරත වුණේ තමන්ට පාර්ලිමේන්තුවේ ලබාදී ආසනය සම්බන්ධයෙන් ගැටළු මතු කරමින්.

මේ අතර තමිල්නාඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් කාවේරි ගංගාවේ ප්‍රශ්නය මතු කරමින් සිට විරෝධය පල කර ඇති අතර එහිදී ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ අයවැය විවාදය අවස්ථා දෙකක දී කල් තබනු ලැබුවා.

මේ හේතුවෙන් ඉන්දීය පාර්ලිමේන්තු කටයුතුවලට දිගින් දිගටම බාධා එල්ල වී ඇති අතර එම තත්ත්වය හමුවේ සභාව රැස් කිරිමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි ඉන්දියානු "දිනමනි" පුවත්පත සඳහන් කර තිබෙන්නේ.

විපක්ෂයේ මෙම ක්‍රියාව හෙළා දකිමින් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හෙට (12) එරට පාර්ලිමේන්තුව වර්ජනය කරන්නට තීරණය කර තිබෙනවා.