Friday, September 20, 2024

General line - 0115112241

1988 අමතා ටියුෂන් පන්තියට ගෙන්වා ගන්න බලපෑම් කරන ගුරුවරුන් ගැන කියන්න




තමන් විසින් ක්‍රියාත්මක කරන උපකාරක පන්තියට පැමිණෙන්නැයි බල කරමින් පාසලේ දී සිසුන්ට සහ මාපියන්ට විවිධ බලපෑම් සිදු කරන ගුරුවරුන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට උපදෙස් ලබා  දී තිබෙනවා.

විශේෂයෙන්ම පහ වසර ශිෂ්‍යත්ව ඉලක්ක කර ගනිමින් පැවැත්වෙන අමතර ඉගැන්වීම් පන්ති සඳහා දරුවන් සහභාගි කරවා ගැනීම සම්බන්ධයෙන් ඇතැම් ගුරුවරුන් විසින් සිදුකරන බලපෑම් පිළිබඳව ඇතැම් මාපියන් තමා වෙත පුද්ගලිකවම තොරතුරු ලබා දී ඇති බව ද පෙන්වා දුන් අධ්‍යාපන අමාත්‍යවරයා තත්ත්වය වහා නතර කිරීමට පියවර ගත යුතු බව අවධාරණය කළා.

ඒ අධ්‍යාපන අමාත්‍යංශ්‍යයේ  පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගී වෙමින්.

ඇතැම් ගුරුවරුන් විසින් ක්‍රියාත්මක කරනු ලබන  උපකාරක පන්ති වලට සහභාගි නොවන දරුවන්ට අදාළ ගුරුවරුන් විසින් පාසලේදී  නොයෙක් ආකාරයේ හිරිහැර සිදු කරන   බවටද පැමිණිලි ලැබී ඇතැයි නිලධාරීන් ද එහිදී පෙන්වා  දුන්නා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ ස්ථාපිත කර ඇති  1988 ක්ෂණික දුරකථන අංකය හරහා ද  මෙවැනි සිදුවීම් සම්බන්ධ තොරතුරු ලබාගැනීමට කටයුතු කරන ලෙසත් එවැනි කටයුතු සිදු කරන ගුරුවරුන් සම්බන්ධයෙන් වහා විනය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

මීට අමතරව පාසල් කාලය තුළ පාසල් දරුවන් සහභාගී කරගනිමින් උපකාරක පන්ති පැවැත්වීම නතර කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.